ආදේශක ගැබ් ගැනීමක් අතරතුර ස්වාභාවික ගැබ් ගැනීමක්- වෙනස් දෙමාපියන් දෙදෙනෙකුගේ නිවුන් දරුවන් බිහි කළ ඕස්ට්‍රේලියානු මව
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සිදු වූ අතිශය දුර්ලභ සිදුවීමකදී, ආදේශක මවක් ලෙස තවත් යුවළක් වෙනුවෙන් කළලයක් දරා සිටියදී තම සැමියා සමඟ ස්වභාවිකව පිළිසිඳ ගත් දරුවෙකුද සමඟ නිවුන් දරුවන් දෙදෙනෙකු බිහි කර තිබේ.
27 හැවිරිදි මෙම කාන්තාව දරුවෙකු පිළිසිඳ ගැනීමට නොහැකි යුවළක් වෙනුවෙන් පරාර්ථකාමී ආදේශක මවක් ලෙස කටයුතු කිරීමට එකඟ වී තිබුණි.
ඒ අනුව, අපේක්ෂිත දෙමව්පියන්ට අයත් කළලයක් 2025 අප්‍රේල් මාසයේදී ඇයගේ ගර්භාෂයට මාරු කර තිබේ. කෙසේ වෙතත්, එම කාලසීමාවේදීම ඇය සිය සැමියා සමඟ ස්වභාවිකවද පිළිසිඳගෙන ඇති බව පසුව අනාවරණය වී තිබේ.
කළල මාරු කිරීමෙන් සති දෙකකට පමණ පසු සිදු කළ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකදී ඇයගේ ගර්භාෂයේ ළදරුවන් දෙදෙනෙකු සිටින බව හඳුනාගෙන ඇත.
පසුව සිදු කළ ජාන පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ එක් දරුවෙකු අපේක්ෂිත දෙමව්පියන්ගේ ජීව විද්‍යාත්මක දරුවෙකු වන අතර, අනෙක් දරුවා ආදේශක මවගේ සහ ඇගේ සැමියාගේ ජීව විද්‍යාත්මක දරුවෙකු බවයි.
ළදරුවන් දෙදෙනාම 2025 නොවැම්බර් මාසයේදී උපත ලබා ඇති අතර, ඉන් අනතුරුව සෑම පවුලක්ම තමන්ගේ ජීව විද්‍යාත්මක දරුවා ඇති දැඩි කරමින් සිටී.
දරුවන්ගේ දෙමාපියත්වය සම්බන්ධයෙන් පවුල් දෙක අතර කිසිදු ආරවුලක් ඇති වී නොමැති බවද සඳහන් වේ. කෙසේ වෙතත්, මෙම අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් නීතිමය ගැටලුවක් මතුව තිබේ.
ක්වීන්ස්ලන්තයේ ආදේශක මව් නීති යටතේ, එකම උපතකින් බිහිවන සහෝදර සහෝදරියන් විවිධ මාපිය නියෝග යටතේ වෙන් කිරීම සාමාන්‍යයෙන් සීමා කර තිබීම ඊට හේතුවයි. ඒ අනුව මෙම කරුණ ක්වීන්ස්ලන්ත ළමා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
නඩුව විභාග කළ විනිසුරු ජෝඩි වුල්ඩ්‍රිජ් සඳහන් කර ඇත්තේ දරුවන් දෙදෙනා ගර්භණී අවධියේ එකට සිටි නිවුන් දරුවන් වුවද, මෙම සුවිශේෂී තත්ත්වය හේතුවෙන් ආදේශක මව් නීතිවල අරමුණු සඳහා ඔවුන් "උපත් සහෝදර සහෝදරියන්" ලෙස නොසැලකිය හැකි බවයි.
ඒ අනුව, දරුවන්ගේ ජීව විද්‍යාත්මක දෙමව්පියන්ට අනුව ඔවුන් වෙන වෙනම ඇති දැඩි කිරීමට අදාළ මාපිය විධිවිධාන නීත්‍යානුකූලව පිළිගැනීමට අධිකරණ තීන්දුව මඟ පෑදී තිබේ.
ස්වාධීන උපදේශකයෙකුද අධිකරණයට දැනුම් දී ඇත්තේ දරුවන් වෙන වෙනම පවුල්වල හැදී වැඩුණද, ඔවුන් ස්ථාවර හා සහයෝගී පරිසරයක ඇති දැඩි වන්නේ නම් එය ඔවුන්ට සැලකිය යුතු මානසික හානියක් ඇති කිරීමට ඉඩකඩ අඩු බවයි.
පවුල් දෙකම දරුවන් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන වැඩෙන පරිසරයක් නිර්මාණය කිරීමට එකඟ වී ඇති අතර, ඔවුන්ගේ අසාමාන්‍ය උපත් තත්ත්වය පිළිබඳව වයසට ගැළපෙන ආකාරයෙන් කරුණු පැහැදිලි කිරීමටද සැලසුම් කර තිබේ.