දිස්ත්‍රික්ක 6කට බවුසර් මගින් පානීය ජලය- මොණරාගල, මඩකලපුව සහ අම්පාර වැසියන් දැඩි අර්බුදයක
පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල කිරි ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින අතර, ගවයින් සඳහා අවශ්‍ය ආහාර හා ජලය සපයා ගැනීමද බරපතළ ගැටලුවක් වී තිබේ.
ගව ආහාර හිඟය හේතුවෙන් එළදෙනකගෙන් දෛනිකව ලබාගත් කිරි ප්‍රමාණය ලීටර් 7ත් 8ත් අතර සිට ලීටර් 1ත් 2ත් අතර දක්වා දැඩි ලෙස පහත වැටී ඇති බව ගොවීහු පවසති. වියළි කාලගුණය හේතුවෙන් ප්‍රධාන සහ කුඩා ජලාශ රැසක ජල මට්ටම්ද සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.
පොළොන්නරුවේ ගිරිතලේ ජලාශය, අම්පාරේ සේනානායක සමුද්‍රය මෙන්ම අනුරාධපුරයේ නොච්චියාගම සහ කුඩා ඔය මඩුව ප්‍රදේශයේ ජලාශද මේ වනවිට බලපෑමට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම දැඩි වියළි තත්ත්වය වනජීවීන්ටද බලපා ඇති අතර, ඇතැම් ප්‍රදේශවල මසුන් මියගොස් ඇති බවද සඳහන් වේ.
මේ අතර, සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ වන අලි රංචු පානීය ජලය සොයා ජනරංජන වැව දෙසට ගමන් කරන බවටද තොරතුරු වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සඳහන් කළේ, වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 25ක පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.
මේ වනවිට දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 22ක පවුල් 24,144කට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකු සඳහා පානීය ජලය බෙදාදීම සිදුකරමින් පවතී. වැඩිම පිරිසකට පානීය ජලය සැපයෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ වන අතර, එහි පවුල් 11,074කට අයත් පුද්ගලයින් 35,639 දෙනෙකුට ජලය ලබාදෙමින් තිබේ.
මඩකලපුවේ පවුල් 9,547කට අයත් පුද්ගලයින් 28,253 දෙනෙකුටත්, අම්පාරේ පවුල් 2,823කට අයත් පුද්ගලයින් 8,847 දෙනෙකුටත් පානීය ජලය ලබාදෙමින් තිබේ.
එමෙන්ම පොළොන්නරුවේ පවුල් 683කට අයත් පුද්ගලයින් 2,646 දෙනෙකුටත්, රත්නපුරයේ පවුල් 17කට අයත් පුද්ගලයින් 79 දෙනෙකුටත් පානීය ජල සැපයුම් ලබාදී ඇති බව DMC පවසයි. මේ අතර, දිවයින පුරා පවතින වියළි කාලගුණයෙන් සහනයක් පතා “මව්බිම සුරැකීමේ සංවිධානය” විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වැසි ප්‍රාර්ථනා කරමින් පිරිත් සජ්ඣායනා වැඩසටහන් හෙවත් “වැහි පිරිත්” වැඩසටහන් ආරම්භ කර තිබේ.