නිවසේදීම ඇන්ටිජන් පරීක්ෂණයක් කර ගැනීමට දැන් ක්‍රමයක්

Covid 19 Sri lanka
By Sithumi Aug 26, 2021 04:42 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරියේදී ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වා දීම සඳහා සැලසුම් කර ඇති බවත් ලොව රටවල් රැසක එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා. සංචරණ සීමා පැනවීම් තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නොහැකි බවත් ලොව අනෙකුත් රටවල් පිළිබඳ සොයා බැලීමේදී ද එය ඔප්පු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

වෘත්තීය සමිති සංගම් නියෝජිත පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (26) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල අවධාරණය කර සිටියේ. මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් යම් තාක්ෂණික හා කාල රාමුවන්හි සුළු සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේ.

බෝ නොවන රෝග සඳහා සායනික ප්‍රතිකාර වලට යොමුව ඇති වයස අවුරුදු 60 ඉක්මවූ පිරිස් කෙරෙහි ද මේ වන විට වැඩි අවධානයක් යොමුව ඇති බවත් සියලු දෙනා ඉතා කඩිනමින් පූර්ණ එන්නතකරණය සඳහා යොමු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

කොවිඩ් ආසාදිතව මිය යන පිරිසෙන් 86 % පමණ විවිධ සංකූලතා සහිත පිරිස් බවත් , ඉන් 12% ක් පමණ පළමු එන්නත පමණක් ලබාගෙන ඇතැයිද , මිය ගිය අයගෙන් එන්නත් දෙකම ලබාගෙන ඇති පිරිස 2.5% බවත්,ඔවුන්ද විවිධ සංකූලතා පෙන්නුම් කළ අය බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ.