ඉන්ධන ගන්න පොලීමේ මග බලන් ඉන්න අයට සුබම සුබ ආරංචියක් - ආයේ ප්‍රශ්නයක් වෙන්නෑ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසන පරිදි අද (16) උදෑසන වන විට තවත් ඉන්ධන නෞකාවක් දිවයිනට පැමිණ ඇති අතර එම නෞකාවේ ඇති ඉන්ධන අද දිනයේම ගොඩබෑමට අවශ්‍ය සියලු සූදානම් කර ඇති බව පවසයි.
ඔහු සඳහන් කළේ අද පැමිණි නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපරී ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් අඩංගු බවයි.
එමෙන්ම මේ වන විට ඇනවුම් කර ඇති අනෙකුත් සියලුම ඉන්ධන නෞකාද ක්‍රමයෙන් දිවයිනට පැමිණෙමින් තිබෙන බව ඔහු පැවසීය.
එමෙන්ම පිරවුම්හල් වෙතින් ලැබී ඇති ඇනවුම් අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර QR ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් ව්‍යාජ ගිණුම් භාවිත කරමින් ජනතාවගේ තොරතුරු රැස් කරමින් සිටින බවට වාර්තා වී ඇති බවද කළමනාකරණ අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව රජය විසින් හඳුන්වා දී ඇති නිල වෙබ් අඩවිය හැර වෙනත් කිසිදු වෙබ් අඩවියකට හෝ පුද්ගලයන්ට තම පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
වංචනික පුද්ගලයින් එවැනි තොරතුරු භාවිත කරමින් ව්‍යාජ QR කේත සකස් කිරීමේ සිද්ධීන්ද මේ වන විට වාර්තා වී ඇති බවත්, එලෙස ව්‍යාජ තොරතුරු ලබාදීම හේතුවෙන් නියමිත පුද්ගලයින්ට නැවත QR කේත ලබාගැනීමේ අවස්ථාවද අහිමි විය හැකි බවත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම QR කේතයට පිටින් ඉන්ධන ලබා දෙන පිරවුම්හල්වල බලපත්‍රය ද අහෝසි කරන බවද සඳහන්, මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ,
"අද උදෑසන 10.00 වෙනකොට තව එක නෞකාවක් කොළඹ වරායට සේන්දු වුණා. මේ වෙද්දි අපේ නිලධාරීන් නැවට ගොඩවෙලා සාම්පල පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂාවෙන් පස්සේ අද දිනයේම ගොඩබාන්න පටන් ගන්නවා. එහි අපිට ලැබෙනවා ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ පෙට්‍රල් 17,000ක් සහ සුපරි ඩීසල් 3000ක්. ඒ වගේම අපි ඇනවුම් කළ නෞකාවන් සුපුරුදු පරිදි සේන්දු වීමට තිබෙනවා කොළඹ වරයට. ඊට අමතරව අද දිනය වෙනකොට CPC එකට ඇනවුම් 616ක් LIOC එකට ඇනවුම් 204ක් සහ සිනොපැක් එකට 247, ආර්.එම් පාර්ක් එකට 248ක් වශයෙන් ඇනවුම් ලැබිලා තියෙනවා. ඒ අනුව අපි සියලුම ස්ථානවලට ඇනවුම් බෙදා හැරීම සිදුකළා. ඒ වගේම ඊයේ දිනයේ පැවැති සාකච්ඡා අනුව මගි බස් රථ සඳහා ඩිපෝවලින් තෙල් දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව උදේ පාන්දරම ඩිපෝ සඳහා තෙල් බවුසර් පිටත් කර හැරියා.
ඒ වගේම මේ වෙද්දි අපි ක්‍රියා කරමින් ඉන්නවා වාහන සහ මොබයිල් නම්බර්ස් මාරු කරලා රෙජිස්ටර් වෙන්න බැරිවුණ අයගේ ප්‍රශ්න විසඳන්න. නමුත් ඒ අතර කියන්න ඕනේ මේ වෙද්දි අපිට දැකගන්න හම්බුණා ව්‍යාජ එකවුන්ට් හදලා තියනවා ඛනිජ තෙල් සංස්ථාව නමින් ඒ එකවුන්ට්වලින් උත්සාහ ගන්නවා නොයෙකුත් දත්ත රැස් කරන්න. සමහරු සියලු තොරතුරු ගන්නවා අරන් අනුන්ගේ නම්වලට QR කෝඩ් හදාගන්න උත්සාහ ගන්නවා. ඒක නිසා fuelpass.gov.lk කියන වෙබ් අඩවියට හැර වෙනත් කිසිම වෙබ් සයිට් එකක් අපි පබ්ලිශ් කරලා නෑ. ඒ කිසිම එකකට දත්ත ලබා දෙන්න එපා. එහෙම කරලා ඒ අය වෙනම පාස් එකක් හදාගන්නවා. එතකොට ඔබට පාස් එකක් හදා ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා."