රූමස්සල කන්දේ පටු පාර සංවර්ධනයට පරිසර වාර්තාවක්....

Enviroment
By Thaya Feb 22, 2021 07:18 PM GMT
Thaya

Thaya

Report

රූමස්සල කන්දේ සංවේදී පරිසර පද්ධතියට හානි කරමින් අලුතින් පාරක් ඉදි කිරීමට සුදානම් වන බවට මාධ්‍ය ඔස්සේ පළ වී තිබු වාර්තා සම්බන්ධව පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. දැනට තිබෙන පටු පාරක් මහජනතාවගේ කටයුතු සඳහා සංවර්ධනය කර දෙන රූමස්සල ජනතාව ඉල්ලීම් කරන ලදී. පසුගිය පෙබරවාරි 08 දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගාල්ල රූමස්සල කන්දේ පිහිටි සොබා කෙත මධ්‍යස්ථානයේ කටයුතු සොයා බැලීමට ගිය අවස්ථාවේ ගම්වැසියන් පිරිසක් පැමිණ අමාත්‍යවරයාට සිය දුක් ගැනවිලි කිහිපයක් ඉදිරිපත් කළේය.

ඒ අතර දැනට ඔවුන් තම දෛනික කටයුතු සඳහා යොදා ගන්නා පටු පාර කළු ගල් සහිත හා ජලය ගලා යන අගල් සහිත බැවින් ගමනාගමනය සඳහා කිසි සේත්ම සුදුසු නොවන බවත්, එම ගල් මුල් ඉවත් කර වාහනයකට යාමට සුදුසු පරිදි පාර සකස් කර දීමට පරිසර අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එහිදී අමාත්‍යවරයා දකුණු පළාත් පරිසර අධ්‍යක්ෂවරයා කැඳවා මම ඉල්ලීම සම්බන්ධව සොයා බලන ලෙසත්, මෙම අධි සංවේදී පරිසර පද්ධතිය තුළ ශාඛවලට හා වන සතුන්ට හානියක් නොවන ආකාරයෙන් එම ඉල්ලීම ඉටු කළ හැකි දැයි සොයා බලන ලෙසත් දැනුම් දුන්නේය.

මහජනතාව විසින් කරන ඉල්ලීම සම්බන්ධව අදහස් පළ කරමින් අමාත්‍යවරයා එහිදී කියා සිටියේ, රූමස්සල පරිසර පද්ධතියට හානි සිදු වන අන්දමින් පාරක් ඉදි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ලබා නොදෙන බවයි. නමුත් දැනට තිබෙන පටු පාරේ තිබෙන කළුගල් ඉවත් කිරීම හා ශාඛවලට හානියක් සිදු නොවන ආකාරයට එම කටයුතු සිදු කිරීමට හැකි දැයි සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස දකුණු පළාත් පරිසර අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේය. කෙසේ වුවද මේ සම්බන්ධව තමන්ට පරිසර ඇගයීම් වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය. මෙම පාර සම්බන්ධව ඉදිරි පියවර ගත යුතු වන්නේ පාරසරික අධ්‍යයන වාර්තාව පදනම් කර ගනිමින් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.