වැසිකිලියට මුල්ගල තැබීම මට ආඩම්බරයක්..ඊට වඩා පහත් කියන දෙයක් වුණත් මම කරනවා - මල පැනපු අම්බිකා විපක්ෂයේ රෙදි ගලවයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී අම්බිකා සැමුවෙල් විසින් පාසලක වැසිකිලියකට මුල්ගල තැබූ බව සඳහන් කරමින් තමන්ට එල්ල වන විවේචනවලට පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුව අමතමින් ඇය ප්‍රකාශ කළේ, තම දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් වෙනුවෙන් එවැනි දේකට වඩා "පහත්" යැයි සම්මත ඕනෑම කාර්යයක් කිරීමට තමන් සූදානම් බවයි.
එසේම වසර 76ක් තිස්සේ පාලකයන් ඉටු නොකළ මූලික අවශ්‍යතාවන් ඉටු කිරීම ජාතික ජන බලවේගයේ රජයේ වගකීමක් බව ඇය සඳහන් කළේ කඳුකර ජනතාව මෙවර මැතිවරණයේදී පරණ නායකයන් ප්‍රතික්ෂේප කර තමන් වැනි සාමාන්‍ය පුද්ගලයන් පාර්ලිමේන්තුවට එවනු ලැබුවේ සැබෑ සිස්ටම් චේන්ජ් අපේක්ෂාවෙන් බව පෙන්වා දෙමින්.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීනීය කියා සිටියේ, "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන පොරොන්දුව ඉටු කිරීමේදී මහා පරිමාණ ව්‍යාපෘතිවලට පමණක් සීමා නොවී, බිම් මට්ටමේ පවතින අත්‍යාවශ්‍ය මූලික අවශ්‍යතාවලින් මෙම ගමන ආරම්භ කිරීමට සිදුව ඇති බවයි.
වැසිකිලි මුල්ගල තැබීම සම්බන්ධයෙන් සමහරුන් කරන සමච්චල් කිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉකුත් වසර 76 පුරා කිසිදු මන්ත්‍රීවරයකු නොකළ ආකාරයට තමන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි.
ඒ අනුව "අපරාධකරුවන් වෙනුවෙන් පාරට බැස උපවාස කරන සහ සිරගෙවල්වලට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසන අයට වඩා, මගේ දරුවන්ගේ සෞඛ්‍යමය අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම මට ආඩම්බරයක්" යනුවෙන් ඇය විපක්ෂයට දැඩි ප්‍රහාරයක් එල්ල කළා.
එමෙන්ම වැසිකිලි ඉදිකිරීමට අමතරව, වත්මන් රජය යටතේ කඳුකරයේ ආපදාවලට ලක් වූ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු ජනතාවට නිවාස ආධාර ලබා දීමටත්, පාලම්, බෝක්කු සහ මාර්ග පද්ධති යථා තත්ත්වයට පත් කිරීමටත් දැනටමත් පියවර ගෙන ඇති බවත් අම්බිකා සැමුවෙල් සභාවට දැනුම් දී සිටියා.
ඊට අමතරව "අපි කියපු දේ අපි කරනවා" යනුවෙන් අවධාරණය කළ අම්බිකා සැමුවෙල්, සමාජ ජීවන තත්ත්වය ඉහළ නංවමින් රට ඉදිරියට ගෙන යාමට ජාතික ජන බලවේගය කැපවී සිටින බව තවදුරටත් ප්‍රකාශ කළා.