සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

Report

රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404 ක් සඳහා 2026 වර්ෂයට නියමිත මුළු නිල ඇඳුම් ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දීමට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ නිල උත්සවය සැප්තැම්බර් 11 වැනිදා බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රණාගාරයේදී පැවැත්විණි.

එය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ සහ චීන තානාපති Qi Zhenhong මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එහිදී 2026 වර්ෂයට අදාළ නිල ඇඳුම් ලබා දීමට එකඟතාව ප්‍රකාශ කළ සහතිකය හුවමාරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ චීන තානාපති Qi Zhenhong මහතා අතර සිදු විය.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා,

"2025 වර්ෂය සඳහා ද චීනය රෙදි මීටර් මිලියන 11.82ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළේය. එමඟින් සමස්ත ජාතික අවශ්‍යතාව ආවරණය වූ වගේම රට පුරා සිසුන් මිලියන 4.6කට වැඩි පිරිසකට සෘජුවම ප්‍රතිලාභ සැලසිණි.

රුපියල් බිලියන 5.17කට වඩා වටිනා මෙම දායකත්වය, ලාභජනක සිසුවෙකුගෙන් ජාතික විභාග සඳහා සූදානම් වන ජ්‍යේෂ්ඨ සිසුන් දක්වා සෑම දරුවෙකුටම ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් යුතුව අධ්‍යාපනය හැදෑරීමට මඟ පෑදුණි. 2026 වසර සඳහා ද එවැනි ම දායකත්වයක් ලබා දීම අගය කළ යුතුයි"

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, චීනය 2026 නිල ඇඳුම් ප්‍රදානය පිළිබඳ කඩිනම් ප්‍රතිචාරයක් දැක්වීම ශ්‍රී ලංකා රජය සහ චීනය අතර පවතින අන්‍යෝන්‍ය මිත්‍රත්වය පිළිඹිඹු කරන සාධකයක් බවයි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.