ජූලි 28 සහ 31 දින කොළඹට එන අයට විශේෂ නිවේදනයක් - දැනුවත් වෙලාම එන්න
වේල් උත්සවයේ රිදී රථ පෙරහැර නිසා ජූලි 28 සහ 31 දිනවල විශේෂ රථවාහන සැලැස්මක් පිටකොටුව සහ බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල්වල පැවැත්වෙන 152 වන වාර්ෂික වේල් උත්සවයේ රිදී රථ පෙරහැර හේතුවෙන්, 2026 ජූලි 28 සහ 31 යන දිනයන්හිදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව මෙම දිනවල ගමන් ගන්නා කාලසටහන සහ මාර්ග විස්තර විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය.
පළමු දිනය වන 2026 ජූලි 28 වන දින පෙරවරු 07:30 සිට රාත්‍රී 08:30 දක්වා මෙම පෙරහැර පිටකොටුව මුහුදු වීදිය කතිරේෂන් කෝවිලෙන් ආරම්භ වී බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල දක්වා ගමන් කිරීමට නියමිතය.
මුහුදු වීදිය, ගෑස්පහ වටරවුම, ප්‍රධාන වීදිය, ඛාන් වටරවුම, Y.M.B.A. හන්දිය, ලේඩන් බැස්ටියන් මාවත, යෝර්ක් වීදිය, බාරොන් ජයතිලක මාවත, ජනාධිපති මාවත, N.S.A. වටරවුම, ගාලු මැදපාර, ගාලුමුවදොර වටරවුම සහ ගාලුපාර කොල්ලුපිටිය හරහා පෙරහැර බම්බලපිටිය බලා ගමන් කරයි.
පෙරවරු 10:30 දක්වා මුහුදු වීදිය හා කයිමන් දොරටුව ඔස්සේ ප්‍රධාන වීදිය වෙතත්, පෙරවරු 10:30 - 11:30 අතර කාලයේ ප්‍රධාන වීදිය සහ ලේඩන් බැස්ටියන් මාවත ඔස්සේ ද පෙරහැර ගමන් කරයි. අනතුරුව පස්වරු 01:00 - 03:00 අතර ජනාධිපති මාවත ඔස්සේ ගාලුමුවදොර පිටියටත්, පස්වරු 03:00 - 04:30 අතර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, සංචාරක දෙපාර්තමේන්තුව සහ අරලියගහ මන්දිරය අසලින් ද පෙරහැර ගමන් කිරීමට නියමිතය. පස්වරු 05:00 සිට රාත්‍රී 08:30 දක්වා ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය සහ බම්බලපිටිය හරහා ගමන් කර රාත්‍රී 07:00ට කතිරේෂන් කෝවිලටත්, රාත්‍රී 08:30ට බම්බලපිටිය නව කතිරේෂන් කෝවිලටත් ළඟා වීමට නියමිතව ඇත.
මීට අමතරව, ආපසු පැමිණීමේ පෙරහැර 2026 ජූලි 31 වන දින පෙරවරු 08:00 සිට මධ්‍යම රාත්‍රී 12:30 දක්වා බම්බලපිටිය නව කතිරේෂන් කෝවිලෙන් ආරම්භ වී පිටකොටුව මුහුදු වීදිය කතිරේෂන් කෝවිල දක්වා ගමන් කිරීමට නියමිතය.
බම්බලපිටිය කෝවිලෙන් ආරම්භ වන මෙම පෙරහැර ගාලුපාර ඔස්සේ ගාලුමුවදොර පිටිය, ගාලුමුවදොර සෙන්ට්‍රල් පාර, චැතම් වීදිය, යෝර්ක් වීදිය, ලේඩන් බැස්ටියන් මාවත, ප්‍රධාන වීදිය, මුහුදු වීදිය, කතිරේෂන් වීදිය, ක්‍රොස්වීදිය, අන්දිවාල් වීදිය සහ කයිමන් දොරටුව ඔස්සේ පිටකොටුව නව කතිරේෂන් කෝවිල වෙත ළඟා වනු ඇත.
මෙම දිනයන්හි හා වේලාවන්හිදී අදාළ මාර්ගවල යම් රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින්, හැකි තරම් විකල්ප මාර්ග භාවිතා කරමින් සහයෝගය ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.