අද රටම බලන් ඉන්න දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම - දැඩි ආරක්ෂාවක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායත් එයි
දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (28) දින පැවැත්වෙන කාවඩි නර්තනය සහිත පෙරහැරට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ, පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය ද පෙරහැරේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.
ඉකුත් දා පොලිස්පතිවරයා විසින් දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එම නර්තනය මෙවර නතර කිරීමට නිර්දේශ කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) දින පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවතුණා.
එහිදී පසුගිය වසරවල කාවඩි නර්තනය සඳහා සහභාගී වූ සියලු කණ්ඩායම්වලට මෙවරද කාවඩි නර්තනය සඳහා අවසර ලබා දෙන ලදි. එබැවින් පොලීසියේ සෘජු අධීක්ෂණය යටතේ අද දිනයේ දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය කාවඩි නර්තනය ද සමඟ විදී සංචාරය කිරීමට නියමිතව ඇත.
එමෙන්ම දෙවිනුවර පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුළ ද විවිධ අදහස් මතු වේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ, වර්තමාන ආණ්ඩුවට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බවයි.
මේ අතර දෙවිනුවර දේවාලයේ මතුවූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ, යම් බුද්ධි තොරතුරක් ලැබුණු විට එය විශ්ලේෂණය කර තීරණ නොගැනීම යම් මොහොතක වැරැද්දක් විය හැකි අතර එය පොලීසියේ කාර්ය භාරයක් වන බවයි.
එමෙන්ම එය ආණ්ඩුවේ අඩුපාඩුවක් වශයෙන් හුවාදැක්වීම යම් යම් කණ්ඩායම්වල ගැටලුවක් වන බවත් ඔහු වැඩිදුරටත් කියා ඇත.
එමෙන්ම අපරාධ කල්ලි සාමාජිකයින්ට මෙරට සංස්කෘතික උත්සව පාලනය කිරීමට අවස්ථාව ලබා නොදිය යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවා.