යුද්ධය ගැන ඇග කිළිපොලා යන අනාවරණයක් - අමෙරිකානු හමුදා සාමාජිකයින් 600කට වැඩි පිරිසක් තුවාල
පසුගිය පෙබරවාරි මාසයේදී ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ මේ වන විට අවම වශයෙන් අමෙරිකානු යුධ හමුදා සාමාජිකයින් 624 දෙනෙකු තුවාල ලබා ඇති බව පෙන්ටගනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.
තුවාල ලැබූවන් අතරින් 417 දෙනෙකු 'ඔපරේෂන් එපික් ෆියුරි' (Operation Epic Fury) මෙහෙයුමට සම්බන්ධ වූවන් වන අතර, තවත් 207 දෙනෙකු 'විදේශීය මෙහෙයුම්' යටතේ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
අමෙරිකාව සහ ඉරානය අතර අප්‍රේල් මාසයේදී යුධ විරාමයකට එකඟ වී ජූනි මාසයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවද, දෙපාර්ශ්වයෙන්ම අඛණ්ඩව ප්‍රහාර එල්ල වීම නතර වී නොමැත.
මියගිය සහ තුවාල ලැබූවන් පිළිබඳ දත්ත පෙන්ටගනය විසින් මෑතකදී සංශෝධනය කර ඇති අතර, එය විනිවිදභාවය අඩාල කිරීමක් ලෙස දැඩි විවේචනයට ලක්ව තිබේ.
පවතින තත්ත්වය හමුවේ හිටපු ජෙනරාල්වරුන් සහ කොන්ග්‍රස් මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ වත්මන් පරිපාලනය මෙම යුද්ධය සම්බන්ධයෙන් මහජනතාව හමුවේ අවංකව කටයුතු නොකරන බවයි.
ජූලි මස මැද භාගයේදී ජෝර්දානයේ කඳවුරකට සහ ඉරාකයට එල්ල වූ ප්‍රහාරවලින් අමෙරිකානු සොල්දාදුවන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ, ජනාධිපති ට්‍රම්ප් විසින් අදාළ සටන් විරාමය අවසන් බව ප්‍රකාශ කළ අතර, එතැන් සිට දෙපාර්ශ්වය අතර යළිත් දැඩි උණුසුම් වාතාවරණයක් හටගෙන ඇත.
කෙසේවෙතත්, වාර්තාවල දත්ත වෙනස්වීම් පිළිබඳව අදහස් දක්වන පෙන්ටගන ප්‍රකාශකවරයා පවසන්නේ එම වෙනස්වීම් හුදෙක් තාවකාලික දත්ත බිඳ වැටීම් පමණක් බවත්, අදාළ අංශ සමඟ එක්ව ඒවා නිරාකරණය කරමින් පවතින බවත්ය.