AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න
AliExpress ලංකාවට භාණ්ඩ ප්‍රවාහනය නවතා දමා ඇත.
අන්තර්ජාතික මිලදී ගැනීම් සඳහා ශ්‍රී ලාංකිකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වූ AliExpress වෙළඳපොල, මෙරටට භාණ්ඩ නැව්ගත කිරීම සඳහා භාවිතා කළ අඩු මිල ගණනින් භාණ්ඩ නැව්ගත කිරීමේ ක්‍රම 2025 ජූලි 7 සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.
මෙම පියවර ගැනීමට හේතුව ලෙස ශ්‍රී ලංකා රජය විසින් දියත් කර ඇති නව බදු හා රේගු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පවතින අපැහැදිලි භාවය සඳහන් කරයි.
AliExpress විසින් නිකුත් කළ නිවේදනයක් අනුව, AliExpress Standard Shipping සහ Cainiao වැනි අඩු වියදම් සහිත නැව්ගත කිරීමේ ක්‍රම, මේ දිනවල පකිස්තානය සහ ශ්‍රී ලංකාව සඳහා තාවකාලිකව අත්හිටුවනු ලැබේ.
භාණ්ඩ ඇණවුම් කිරීමේදී දැන් මෙම ක්‍රම තෝරා ගැනීමේ හැකියාව නැත. මේ හේතුවෙන්, විශේෂයෙන්ම තාක්ෂණික උපකරණ, ඇඳුම්, සහ ගෘහ භාණ්ඩ වැනි භාණ්ඩ සඳහා පාරිභෝගිකයින්ට අධික ගාස්තු සහ භාණ්ඩ ලැබීමේ දැඩි ප්‍රමාදයක්ද සිදුවේ.
AliExpress ගත් මෙම තීරණයත් සමග රට තුළ සමාජ මාධ්‍ය වල පැතිරුණු ප්‍රචාර අනුව, බොහෝදෙනා විශ්වාස කළේ නව බදු පනවා ඇති බවය.
නමුත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පැහැදිලි කරමින් සඳහන් කරන්නේ:
“අපි බද්ද වැඩි කරලා නෙවෙයි. අපි දැන් නිවැරදිවම ගන්නවා. පෙර අඩු වටිනාකම් (undervalue) සහිත භාණ්ඩ සැබෑ වටිනාකම (Actual value) එකට ගැලපෙන අයුරින් ගණනය කරලා බදු ගෙවන්න තමයි මෙහෙයුම.”
මින් පෙර බර අනුව හෝ සෘජු මුදල් අය කිරීමෙන් බද්ද ගෙවීමක් සිදු වූ අතර, මෙය under-invoicing වැනි ක්‍රමවේද මඟින් විශාලව අවභාවිතා කරන ලදී. දැන්, භාණ්ඩවල HS Code මත පදනම්ව නිවැරදි වටිනාකමට අනුව බදු අය කිරීමට රේගු දෙපාර්තමේන්තුව ක්‍රම පාලනයක් සකස් කර තිබේ.
මේ ගැටලුව පිළිබද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් තම ෆේස්බුක් ගිණුමේ මේ ආකාරයට සටහනක් පළ කළේය.
“කස්ටිය පැනික් වෙලා නිසා පොඩි සටහනක් දාන්න හිතුනා. ali express එකෙන් දේශපලනය කරන සමහරු ලියල තිබ්බා ආණ්ඩුව අලුත් බද්දක් ගහල කියල. ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ ? ලංකාවෙ දේශීය නිශ්පාදනවලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය වෙනස් කරල තියෙන්නෙ. මීට පෙර කිලෝ එකක පාර්සලයක ඕනෙම බඩුවක් රු 800ක බද්දක් ගෙවල Clear කරන්න පුලුවන්, ඒ වගේම නිශ්චිත අගයකට අඩුනම් බදු apply වෙන්නෙ නෑ ( මේකෙදි උනේ under value invoice දාන එක) මේ ක්‍රමේ අනේක විදිහට අවභාවිතා කලා (මැච් එකක් ගැහුවා සමහරු) .
දැන් නිවැරැදි ක්‍රමයට යනවා, ගෙන්වන පාර්සල් වල HS code එකට අනුව Tax වෙනවා. බර අනුව නෙමේ. මේ ක්‍රම වෙනස නිසා අධ්‍යාපන හා පර්‍යේෂණ කටයුතුවලට ගේන එක් එක් අයිතම බදුවලට යටත් වෙලා කියල චෝදනාවක් තියෙනවා. ඒක මේ වෙලාවෙ තාවකාලිකව එහෙම වෙන්න පුලුවන්, මොක්ද ඒව බේරන්න රෙගුලාසි හදල නෑ. අපිට කරන්න පුලුවන් දේ තමයි ඒ අධ්‍යාපනික පර්‍යේෂණ උපාංග HS code හා ප්‍රමාණ මත ඉදිරියට සහනයක් සලසන්න වැඩපිලිවෙලක් හදන්න. මේ දේ ඉතා ඉක්මනින් කරන්න රජය මැදිහත්වීමක් කරයි. System Change ☺කලබල වෙන්න එපා හොදම system එක නිවැරැදිම ක්‍රියාවලිය අපි රටක් විදිහට හදාගමු. ආර්ථිකයේ සම බිමක් හදල අයුතු ලාභ ඉවත් කිරිම හා Dumping නැවැත්වීමට මේ රජය කල හැකි සියල්ල කරනවා. අර්බුදයට සැබෑවට ලක්වුණ පර්‍යේෂකයන්ට ඒ අදාල HS code ලිකිතව රේගු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න.”
නමුත් Aliexpress තවමත් ශ්‍රී ලංකාව සඳහා භාණ්ඩ නැව්ගත කරන බව වාර්තා වේ. එහෙත්, නව නැව්ගාස්තු වැඩිවීම, නොමිලේ නැව්ගත කිරීමේ ක්‍රම අහිමිවීම, සහ භාණ්ඩ අගයට වඩා වැඩි ගාස්තු වැනි සිදුවීම් පරිශීලකයින්ට දැඩි ගැටලුවක් වී තිබේ.
උදාහරණයක් ලෙස, රු. 800 වටින භාණ්ඩයකට රු. 2,000-3,000ක නැව්ගාස්තුවක් (ප්‍රවාහන ගාස්තු) දැක්වීම වාර්තා වෙයි.
නමුත් මෙමගින් දේශීය නිෂ්පාදනවලට ආරක්ෂාව, අනිසි භාවිතයන් අවම කිරීම, අධ්‍යාපනික සහ පර්යේෂණ භාණ්ඩ සඳහා හඳුනාගත් HS Code මත සහන ක්‍රම නිර්මාණය කිරීමට හැකියාවක් පවතී.
AliExpress භාණ්ඩ නැව්ගත කිරීමේ ක්‍රම සීමා කිරීම, රටේ බදු සහ විදේශ වෙළඳ ප්‍රතිපත්ති වෙනස් වීමක අරමුණය. නව පද්ධතියක් තුළින් නිවැරදි බදු වාර්තා කිරීම, දේශීය වෙළඳපොළ ආරක්ෂා කිරීම, සහ අයුතු ඇතුලත් වීම් අවම කිරීම රජයේ අරමුණු බව පෙනේ.
