EPF ගැනීමේ වයස වෙනස් වෙලාද? – මහ බැංකු අධිපතිගෙන් පිළිතුරු

central bank Ajith Nivad ETF
By Sewvandhi Oct 15, 2021 10:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් මෙම සතියේ දී අනුමත කළා.

යෝජිත පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත්, පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමටත් හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කර නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර තිබෙනවා.

මෙම තත්ත්වය තුළ වයස අවුරුදු 55 දී විශ්‍රාම යාමට සූදානම් සේවකයින් හට ඔවුන්ගේ අර්ථසාධක අරමුදල ආපසු ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ වයස අවුරුදු 55 දී ද, නැත්නම් 60 දී ද යන කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් විමසීමක් සිදුකළා.EPF මුදල් ආපසු ලබා ගත හැකි වයස් සීමාව අවුරුදු 55 බවයි එහිදී අධිපතිවරයා පැවසුවේ.

“ඕනෑම කෙනෙකුට ඕනෑම වයසක දී විශ්‍රාම යන්න පුළුවන්. සල්ලි EPF එකෙන් ගන්න පුළුවන් වෙන්නේ 55 දී. යම් පුද්ගලයෙකුට ඊට පෙර විශ්‍රාම යාමට අවශ්‍ය නම් යන්න පුළුවන්. යම්කිසි පුද්ගලයෙක් වයස අවුරුදු 60 වෙනතුරු වැඩකරනවා නම්, ඒ වයස ‌දක්වා දැනට තියෙන නීතිය අනුව EPF ගෙවිය යුතු වෙනවා”, යනුවෙන් අධිපතිවරයා මෙහිදී පැවසුවා

. 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත මඟින් පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන්හි සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කළා. වර්ෂ 2020 අවසාන වනවිට රුපියල් බිලියන 2,824ක වත්කම් කළමනාකරණය කරන සේවක අර්ථසාධක අරමුදල ලංකාවේ විශාලතම විශ්‍රාම වැටුප් ක්‍රමය ලෙස හැඳින්විය හැකි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now