ශ්‍රී ලංකාවට ප්‍රවාහන විශ්වවිද්‍යාලයක්.

Bandula Gunawardane Sri Lanka
By Wayomi Apr 03, 2023 06:48 AM GMT
Wayomi

Wayomi

Report

රත්මලාන දුම්රිය වැඩබිම් පරිශ්‍රයේ දැනට පවත්වා ගෙන යන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය රුසියාවේ හා බෙලාරුස්හි ප්‍රවාහන විශ්වවිද්‍යාල හා ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු පවසන්නේ, ඒ සම්බන්ධයෙන් එරට විශ්වවිද්‍යාල බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගෙන තිබෙන බවයි.

රුසියාවේ හා බෙලාරුස් රාජ්‍ය නිල සංචාරයක නිරත බන්දුල ගුණවර්ධන එම රටවල ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහාම උපාධි පිරිනැමීම උදෙසා පවත්වා ගෙන යන විශ්වවිද්‍යාලවල නිරීක්ෂණයක නිරත වී තිබෙනවා.

එම දෙරාජ්‍යයන්ගේම පවතින ප්‍රවාහන විශ්වවිද්‍යාලවල දේශීය මෙන් විදේශීය සිසුන් ද විශාල ප්‍රමාණයක් ප්‍රවාහන විෂය සම්බන්ධ උපාධි පාඨමාලා හදාරන බව විශ්වවිද්‍යාල බලධාරීන් එහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව, රුසියානු ප්‍රවාහන විශ්වවිද්‍යාලය RUT (MIIT)හි උපකුලපති මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ක්ලිමොව් මහතා ඇතුළු බලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ජර්මානු දුම්රිය තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීම, ශාස්ත්‍රීය හුවමාරුව, විද්‍යාත්මක පර්යේෂණ, මාර්ගගත දේශන සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේෂඥයින් සඳහා පුහුණුව වැනි කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා.

එමෙන්ම ප්‍රවාහන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව කටයුතු කිරීම සඳහා දෙපාර්ශවයෙන්ම නියෝජනය වන ද්විපාර්ශික කමිටුවක් පිහිටුවීමට ද මෙහිදී එකඟතාව පළ වී ඇති බව සඳහන්.

ඒ, අනුව උසස් අධ්‍යාපනයට යොමු වන මෙරට සිසුන්ට මෙන් ම මාලදිවයින, නේපාලය ආදී අනෙකුත් දකුණු ආසියාතික රටවල සිසුන්ට ද ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව මෙමගින් සලසා දිය හැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදී අවධාරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW