කොවිඩ් වලින් ගමක්ම විනාශයි? PHI නිළධාරියා කරපු වැඩේ..
ගම්මානයක් පුරා ව්‍යාප්තවීමට ගිය කොවිඩ් වෛරසය එක් නිවසකින් නතර කරගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ දැඩි විමසිල්ල හේතුවෙන් අවස්ථාව උදාවූ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඒ, බණ්ඩාරවෙල මකුල්ඇල්ල ප්‍රදේශයේය.
එම ප්‍රදේශයේ නිවසක 80 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්වී තිබුණි. එම සාමාන්‍ය මරණයක් සේ සලකා නිවැසියන් විසින් ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් වී ඇත. ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමෙන් පසු සැකසිතූ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අදාළ නිවසේ පුද්ගලයින් කිහිප දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ.
එහිදී 4 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත. පසුව මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් ද සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔහු ද කොවිඩ් ආසාදිතව සිට ඇති බව හඳුනාගෙන ඇත. අදාළ පුද්ගලයාගේ මරණය ආරංචිවීමෙන් පසු එම නිවස අසලට රැස්වී සිටි පිරිස විසුරුවා හැරීමින් ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පැවසුවේ,
"අපිත් මැරෙනවා ඔහොම තමයි. කියන දේ අහලා ඈතට යන්න. එයාට කොරෝනා. ඔය කට්ටියට හැදුණොත් මොනාද කරන්නේ. ගම බේරගන්න එපෙයි," යනුවෙනි.
මේ අතර නව කොවිඩ් ආසාදිතයින් 4,221 දෙනෙකු ඊයේ (31) මෙරටින් හඳුනා ගැනුණි. ඒ අනුව අගෝස්තු මාසය තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් 131,463ක් හඳුනාගෙන තිබේ.
ගෙවුණු පැය 24 දී මෙරට තුළ PCR පරීක්ෂණ 13,936 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 4,323 ක් සිදුකර ඇත. මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,185කි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 440,302 දක්වා ඉහළ ගොස් ඇත.
ප්‍රතිකාර සහ නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 374,156කි. ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 56,961කි. දැනට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් V, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ඊයේ පුද්ගලයින් 511,142 දෙනෙකුට ලබාදී තිබේ.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් දිස්ත්‍රික්ක රැසකදී ක්‍රියාත්මක අතර යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් නිවෙස්වලටම ගොස් වයස අවුරුදු 60ට වැඩි සහ බරපතළ රෝගාබාධ සහිතව එක්තැන්ව සිටින පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේ වනවිට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 01 කෝටි 24 ලක්ෂ 68,949කි. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 81 ඉක්මවා තිබේ.
මේ අතර, මාධ්‍යවේදියෙකු සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා තයිරොක්සින් ඖෂධය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය අසත්‍යයක් බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය, චන්න ජයසුමන මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම ඖෂධය මෙතෙක් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බවත් එය සැප්තැම්බර් මාසයේ සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවය.
"තයිරොක්සින් ඖෂධය රත්මලාන ඖෂධ නිෂ්පාදන පරිශ්‍රයේ ඒ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරලා එළි දැක්වූවට උත්සවයක් තියලා, අපි තාම ඒක වෙළෙඳපොළට නිකුත් කරේ නෑ. සැප්තැම්බර් මාසයේ වෙළෙඳපොළට නිකුත් කරන්න තමයි අපි සැලසුම් කරලා තිබුණේ. හැබැයි මේ ප්‍රකාශය සිදු කරපු පුද්ගලයා මොකක් ද කිව්වේ. මේ තයිරොක්සින් ඖෂධය බීලා ඒ රෝගීන් කියනවාලු ඒකෙ ප්‍රතිඵලයක් නෑ කියලා. අමූලික බොරුවක්.පට්ටපල් බොරුවක්. ප්‍රතිළුල කියන්න තාම අඩු ම ගානේ තයිරොක්සින් වෙළෙඳපොළට දාලවත් නැහැ. ඉන්දියාවෙන්, පකිස්තානයෙන්, බංගලාදේශයෙන් තත්ත්වයෙන් බාල ඖෂධ ගෙනල්ලා දෙනකොට කට වහගෙන හිටිය මිනිස්සු අද ලංකාවේ ඖෂධ නිෂ්පාදන කරන්න ගත්තට පස්සේ භූමිතෙල් ගෑවුණු ගැරඬියෝ වගේ දඟලන්න අරගෙන තියෙනවා."
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |