ලංගමට නව රියැදුරන් බඳවා ගැනීමට නව ක්‍රමවේදයක්.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු ඩිපෝවල පවතින රියැදුරු හා කොන්දොස්තර හිඟයට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් විසඳුමක් සොයා දී තිබෙනවා.
ඒ අනුව ඔහු පවසන්නේ රියැදුරන් බඳවා ගැනීමේදී අදාළ අධ්‍යාපන සුදුසුකම් අඩුකර බඳවා ගැනීමට හැකිවන ලෙස කැබිනට් පත්‍රිකාවක් වෙනස් කර යොමු කරන බවයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ගම්පොළ ඩිපෝවේ සංවර්ධන සැලසුම් නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීයි.
ගම්පොළ ඩිපෝවේ කළමනාකාරු විසින් මෙහිදී අමාත්‍යවරයා හමුවේ සඳහන් කර සිටියේ ගම්පොළ ඩිපෝව සතු බස්රථ ඇති නමුත් ඒවා නිසි ලෙස ධාවනය කිරීමට රියැදුරන් හා කොන්දොස්තරවරුන් නොමැති බවයි.
රියැදුරන් අටසියයක් බඳවා ගැනීමට කටයුතු කළත් එයට ඔවුන්ගේ අ.පො.ස සා.පෙළ අධ්‍යාපන සුදුසුකම් බලපා ඇති බව ඇමැතිවරයා එහිදී සඳහන් කළා.
එහිදී ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, රියැදුරු සතු පළපුරුද්ද හා බරවාහන සහතික තිබුණත් ඔවුන් බඳවා ගැනීමේදී පවතින මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට අවශ්‍ය සාමාන්‍ය පෙළ වැඩ හයයි දෙකක් වන අධ්‍යාපන සුදුසුකම වෙනස් කර එය සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබීම සුදුසුකමක් ලෙස වෙනස් කර අනුමැතිය ලබාගෙන ඔවුන් බඳවා ගැනීමට කටයුතු කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |