ප්‍රශ්න පත්‍රේ දෙන්න විනාඩි පහළොවක් තියලා උසස් පෙළ සිසුවියක් තෙමහල් ගොඩනැගිල්ලෙන් බිමට පැනලා
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක 13 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවියක් අද (11) දින දහවල් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකින් පහළට පැනිමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බම්බලපිටිය පොලිසිය ප්‍රකාශ කරයි.
පොලීසිය සඳහන් කරන්නේ අඳාළ අනතුරින් ඇයගේ පාද දෙකට පමණක් තුවාල සිදුවී ඇයගේ දිවි බේරීම ආශ්චර්යයක් යැයි සිද්ධිය ඇසින් දුටුවෝ පවසූ බවයි.
එසේම අඳාළ සිසුවිය මෙවර උසස් පෙළ විභාගයට දෙවනවර පෙනී සිටින ශිෂ්‍යාවක් බව පොලිසිය සඳහන් කළා. 19 හැවිරිදි ඇය මොරටුව පදිංචිකාරියක්.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය ලබාදීමට විනාඩි පහළොවකට පමණ පෙර පාසලේ තෙමහල් ගොඩනැගිල්ලේ කෙටි තාප්පය මතින් ඇය මෙලෙස පහළට පැන ඇති බවයි.
මේ අතර පිටතට පැනීමත් සමඟම ඇයගේ සිරුර පතිත වී ඇත්තේ කාපට් අතුරන ලද මාර්ගයකට බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ඇය විභාගයට පෙනී සිටීමට යම් බියකින් පසු වී ඇති බව පවුලේ සමීපතමයන්ගෙන් ලබාගත් ප්‍රකාශවලින් අනාවරණය වී ඇති බවයි.
කෙසේ වෙතත් බම්බලපිටිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි. ආර්. ඒ. ජේ. බි. දෙහිගමගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.