පොලිස් නිලධාරීන් පිරිසක් හිටපු පොලිස් සැරයන්වරයෙකුට අමානුෂික ලෙස පහරදෙයි.
කොහුවල පොලිස් ස්ථානය පිටුපසට ගෙන ගොස් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදීමේ පුවතක් වාර්තා වෙනවා.
ඒ, ශ්රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින්.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම් වූ හිටපු පොලිස් සැරයන්වරයෙක්.
එලෙස වසර 17ක් පොලීසියේ සේවය කළ හිටපු සැරයන්වරයාගේ ආදායම් මාර්ගය වූයේ ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්රාත්කරුවෙකු යටතේ සේවය කිරීමයි.
පසුගිය 14වනදා රාත්රියේ වැඩ නිමවීමෙන් පසුව ඔහු තවත් කිහිපදෙනකු සමග රාත්රි ආහාර ගැනීම සඳහා කොහුවල ආපනශාලාවක් වෙත ගොස් ඇත.
එහිදී හිටපු පොලිස් සැරයන්වරයා එවිට පැළඳ සිට තිබුණේ ශ්රී ලංකා පොලීසියේ සේවය කරන කාලසීමාව තුළ ලබාගත් පොලිස් නිල ලාංඡනය සහිත ටී ෂර්ටයක්.
එම අවස්ථාවේ පොලිස් නිල ඇඳුමෙන් සිටි නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් ඇඳුමෙන් සැරසී සිටි නිලධාරීන් 6 දෙනෙකු පමණ එම ආපනශාලාව තුළ ආහාර ගනිමින් සිට ඇති අතර පසුව එම නිලධාරීන්, හිටපු පොලිස් සැරයන්වරයාගෙන් පැළඳ සිටි ටී ෂර්ටය සම්බන්ධයෙන් ප්රශ්න කර තිබෙනවා.
එහිදී ඔහු පවසා තිබුණේ, තමා වසර 17ක් පොලිස් සේවයේ නිරතව සිටි පුද්ගලයෙකු බවයි.
අනතුරුව එම පොලිස් නිලධාරීන් අදාළ හිටපු පොලිස් සැරයන්වරයා කොහුවල පොලිස් ස්ථානය පිටුපසට ගෙන ගොස් පහරදී පොලිස් සිරමැදිරියට දමා ඇති අතර පසුව කොන්ත්රාත් සමාගමේ පුද්ගලයින් විසින් පහරකෑමට ලක්වූ හිටපු සැරයන්වරයා රෝහල්ගත කර තිබෙනවා.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ (18) පෙරවරුව් ප්රතිකාර ලබා රෝහලෙන් පිටවගොස් ඇත.