රියාද් ගුවන්තොටුපළට යළිත් අනතුරු ඇඟවීමක් - හූති කැරලිකරුවන්ගෙන් දැඩි ප්‍රකාශයක්

Report

සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කිරීමෙන් වළකින ලෙස හූති කැරලිකරුවන් යළිත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමෙන් පසු, අද (25) සිට ගුවන් ගමන් සඳහා පර්යන්ත දෙකක් වෙන් කරන බව ගුවන්තොටුපළ බලධාරීන් නිවේදනය කර පැය කිහිපයක් ගතවීමටත් පෙර මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබීම විශේෂත්වයකි.

හූති හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ තවදුරටත් හමුදා ඉලක්කයක් ලෙස සලකන බවයි. එම ගුවන්තොටුපළ ඉලක්ක කරගත් මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, ගුවන්තොටුපළ භාවිත කිරීමෙන් වළකින ලෙස සියලුම ගුවන් සමාගම්, ගුවන්තොටුපළ සේවකයන් සහ ගුවන් මගීන් වෙත හූති හමුදා ප්‍රකාශකවරයා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මේ අතර, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලධාරීන් ඊයේ (24) නිවේදනය කර තිබුණේ අද සිට පර්යන්ත අංක 1 දේශීය ගුවන් ගමන් සඳහාත්, පර්යන්ත අංක 2 ජාතික ගුවන් සමාගම් විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහාත් වෙන් කරන බවයි. කෙසේ වෙතත්, ගුවන්තොටුපළ තවදුරටත් හමුදා ඉලක්කයක් ලෙස සලකන බවට හූති කැරලිකරුවන් කළ ප්‍රකාශය හේතුවෙන් එහි ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

හූති කැරලිකරුවන් විසින් එල්ල කළ බවට ප්‍රකාශ කෙරුණු ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබීමෙන් පසු, ඔක්තෝබර් 10 වැනිදා ගුවන්තොටුපළේ මෙහෙයුම් අත්හිටුවනු ලැබීය. එම ප්‍රහාරය දශකයකට වැඩි කාලයක් තුළ සෞදි අරාබියට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය ලෙස සැලකේ.

හූති කැරලිකරුවන් සෞදි අරාබියේ ගුවන්තොටුපළ, වරාය සහ තෙල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ. මෙම ප්‍රහාර හරහා පුළුල් කලාපීය යුද තත්ත්වය තුළ අමෙරිකාවේ මිත්‍ර රාජ්‍යයක් වන සෞදි අරාබියට දැඩි පීඩනයක් එල්ල වී තිබේ.

මේ අතර, හූති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය මෑතකදී සිය හමුදා මැදිහත්වීම් තීව්‍ර කර ඇති බව ද සඳහන් වේ. පසුගිය මාසයේ රතු මුහුදු වෙරළ තීරයේ උපායමාර්ගික ප්‍රදේශ අත්පත් කරගැනීමෙන් පසු, හූති කැරලිකරුවන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සෞදි අරාබිය පියවර ගෙන ඇති බව වාර්තා වේ. එමෙන්ම, යේමන රජයේ ප්‍රතිප්‍රහාරක මෙහෙයුම් සඳහා ද සෞදි අරාබිය සහාය ලබා දෙමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.