මේ වයසේ දරුවෝ ඉන්න දෙමව්පියන්ට විශේෂ පණිවිඩයක්

By Sithumi Oct 10, 2022 03:06 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ දැනට පවතින ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ, දරුවන්ගේ පෝෂණය ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීමට සිදුව ඇත.

විශේෂයෙන්ම වර්ධනය වේගවත් කුඩා දරුවන්ට, වයසට සරිලන නිසි පෝෂණයක් නොලැබුණහොත් ඔවුන් උරුම කරගත් උපරිම වර්ධන සීමාවන්ට ළඟා වීමට නොහැකි වීමට ඉඩ තිබේ. ඒවාගේම පෝෂණ ඌනතා නිසා හටගන්නා රෝගාබාධවලට ලක්වීමේ අවදානමකුත් පවතී. මේ කරුණු සැලකිල්ලට ගනිමින් මේ එළැඹ ඇති ඔක්තෝබර් මාසය "පෝෂණ මාසය" ලෙස නම් කොට ඇත.

මෙහිදී විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම් කොට තිබේ. දරුවකුගේ පෝෂණ මට්ටම ප්‍රශස්ත තත්ත්වයේ පවත්නා බවට තහවුරු කර ගැනීමට යොදා ගන්නා මූලිකම මිනුම් වන්නේ දරුවාගේ උස සහ බරයි.

මෙම ඔක්තෝබර් මාසය තුළ දී වයස අවුරුදු පහට අඩු සියලුම දරුවන්ගේ බර සහ උස/දිග මැන සටහන් කිරීමටත්, වයසට අදාළව වර්ධන තත්ත්වය ප්‍රමාණවත් දැයි තක්සේරු කිරීමටත් මේ වනවිට සැලසුම් කර තිබේ. කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත හදිසි පෝෂණ වැඩසටහ සඳහා මෙම දත්ත ඉතා වැදගත් වනු ඇති.

මෙම සමීක්ෂණ ක්‍රියාවලිය මෙවරද වෙනත් වසරවල පෝෂණ මාසවල මෙන් වයස අවුරුදු පහට අඩු මිලියන 1.5 ක් වූ සමස්ත දරු පිරිසම සම්බන්ධ කරගැනීම මගින් ඇරැඹේ. එමෙන්ම, මෙම සමීක්ෂණය සිදුවන්නේ වසර පුරාවටම ක්ෂේත්‍රයේදී සිදු කෙරෙන උස/ බර මැනීමේ කාර්යයට අමතරවයි. ඔබ දරුවාගේ වර්ධනය (උස /බර) මැන බලන්නේ පුද්ගලික සෞඛ්‍ය ආයතනයකින් වුවත් හැකි නම් මේ මාසයේ ඒ සඳහා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිනිය වෙත යොමු වන්න. 

දැනටමත් එසේ උස හා බර මැනගෙන අවසන් නම් එම තොරතුරු ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය වෙත ලබා දෙන ලෙසට සෞඛ්‍ය අංශ දන්වා සිටී. දරුවාට වයස අවුරුදු පහට අඩු නම් , මේ මාසය ඇතුළත දී ඔබ අදාල ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් පවත්වන පෝෂණ මට්ටම ඇගැයීමේ වැඩසටහනට යොමු වන්න.

ඔබේ දරුවාගේ පෝෂණ මට්ටම සතුටුදායක නම් ඒ බව තහවුරු කිරීම හෝ එසේ නොවේනම්, ගැටලුවේ තීව්‍රතාව අනුව අදාළ උපකාර ලබාදීම සහ විශේෂ සායන වෙත යොමුකිරීම් සිදු කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතයි. වර්ධනය අඩු බවට හඳුනා ගන්නා දරුවන් යළි සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නා අතරතුරු දිගින් දිගටම ඔවුන්ගේ පෝෂණ මට්ටම පරීක්ෂා කරමින් අවශ්‍ය සේවාවන් ලබා දීමට ද අපේක්ෂිතයි.

වයස අවුරුදු පහට අඩු දරුවාට නිසි පෝෂණයක් ලැබේදැයි තක්සේරු කරගැනීමට ඔබට මේ මහඟු අවස්ථාව උපයෝගී වනු ඇත.