ගතවූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකට වැඩ තහනම්
ගත වූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකට වැඩ තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
පොලිසිය දේශපාලනීකරණයෙන් මුදවා ගැනීමේ පියවරවලට සමගාමීව, නීතිවිරෝධී කටයුතුවල නිරත වූ නිලධාරීන් මෙලෙස වැඩ තහනමට ලක් කර ඇති බව ඔහු සඳහන් කළේය.
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති ආධුනික පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
"අතීතයේ පොලිස් සේවාව ගැන හොඳ චිත්‍රයක් තිබුණේ නැහැ. බහුතරයක් පොලිස් නිලධාරීන් සේවාවේ උන්නතියට කැපවුණත්, සුළු පිරිසකගේ විවිධ ක්‍රියාකාරකම් නිසා පොලිසියේ විනය අපකීර්තියට පත්ව තිබුණා. අනෙක් පැත්තෙන්, දේශපාලනීකරණය වූ පොලිස් සේවාවක් තමයි අපට ලැබී තිබුණේ.
ජාතික ජන බලවේගය බලයට පත්වන විට පොලිස් සේවාව අතිශයින් දේශපාලනීකරණයට ලක්ව තිබුණා. අපේ පළමු අරමුණ වුණේ ඒ දේශපාලනීකරණයෙන් පොලිස් සේවාව ස්වාධීන කිරීමයි. ගතවූ මාස 10 ඇතුළත ඒ සඳහා අපි රැස් පියවර ගත්තා. ඒ පියවරවල ප්‍රතිඵලයක් ලෙස, පොලිස් සේවාව දේශපාලනීකරණයෙන් මුදවා ගැනීමට අපට හැකිවී තිබෙනවා. මේ වන විට අනීතික කටයුතුවලට යොමු වූ 350කට ආසන්න පිරිසක් පොලිස් සේවයෙන් වැඩ තහනම් කර තිබෙනවා"