අමුත්තන් පුදුම කරවන ගෙදරදීම හදාගන්න පුළුවන් අපූරු තේ වට්ටෝරු තුනක් මෙන්න
නිවසට අමුත්තෙකු පැමිණි විට, ශ්‍රී ලාංකික සම්ප්‍රදායට අනුව උණුසුම් තේ කෝප්පයකින් සංග්‍රහ කිරීම අපේ ආගන්තුක සත්කාරයේ අලංකාර අංගයක්.
ඒ තේ කෝප්පය සාම්ප්‍රදායික රසයෙන් ඔබ්බට ගිය, වෙනස්ම රසයකින් යුතු ප්‍රණීත තේ කෝප්පයක් නම්, ආගන්තුක සත්කාරය තවත් සුන්දර අත්දැකීමක් බවට පත්වනු නොඅනුමානයි.
නිවසට පැමිණෙන අමුත්තන්ට මෙන්ම නිවැසියන්ටත් ආදරයෙන් රසවත් සංග්‍රහයක් පිරිනැමීමට වෙහෙසෙන ඔබ වෙනුවෙන්මයි මේ...
මසාලා චායි

අවශ්‍ය දේවල්
- කරාබු නැටි දෙකක්
- කරද මුංගු දෙකක්
- ඉගුරු කැබැල්ලක්
- කුඩු කරගත් කුරුදු තේ හැඳි බාගයක්
- කලු ගම්මිරිස් ඇටයක්
- කහට තේ කොල හැඳි දෙකක්
- -නැවුම් කිරි කෝප්පයක්
- වතුර කෝප්පයක්
- රස අනුව සීනි
- වැනිලා ටිකක්
සාදන ක්‍රමය
කුළුබඩු සියල්ල වතුර කෝප්පයට එක් කර හොඳින් උතුරවා ගන්න. ඉන්පසු මද වේලාවක් නිවෙන්නට තබා, එයට කිරි සහ සීනි එක් කරන්න. අනතුරුව වැනිලා සහ තේ කොළ එකතු කර, ලිපෙන් ඉවත් කරගන්න. අවසානයේ හොඳින් පෙරා, උණු උණුවෙන්ම පිළිගන්වන්න.
උකු කිරි / ටින් කිරි තේ

අවශ්‍ය දේවල්
- තේ කොළ තේ හැඳි දෙකක්
- උකු කිරි පුරවපු තේ හැඳි 3
- වතුර කෝප්ප දෙකක්
- සීනි තේ හැඳි දෙකක්
සාදන ආකාරය
අවශ්‍ය වතුර ප්‍රමාණය බඳුනකට දමා ලිපේ තබන්න. වතුර උතුරාගෙන එන විට එයට තේ කොළ එක් කරන්න. බඳුන පියනකින් වසා විනාඩි 3–4ක් පමණ තේ කොළ හොඳින් තැම්බීමට ඉඩ දෙන්න. ඉන්පසු හොඳින් හැඳිගා ලිපෙන් ඉවත් කර, තරමක් උස කෝප්පයකට පෙරා ගන්න. දැන් එයට උකු කිරි සහ සීනි එකතු කර, හැන්දකින් හෝ ගෑරුප්පුවකින් වේගයෙන් ගසමින් හොඳින් කලවම් කරන්න. සීනි සම්පූර්ණයෙන් දියවන තුරු යන්තමින් හැඳිගාන්න. පිළිගැන්වීමට භාවිත කරන කෝප්පය උතුරන වතුරෙන් සෝදා, එහි ඇති වතුර ඉවත් කර පෙර රත් කරගන්න. ඉන්පසු කිරි තේ සහිත කෝප්පය මදක් උස්සා, පෙණ නැගෙන සේ පිළිගන්වන කෝප්පයට වත් කරන්න.
ඉඟුරු සහ කරදමුංගු මිශ්‍ර තේ

- අවශ්‍ය දේවල්
- වතුර කෝප්පයක්
- මී පැණි තේ හැදි දෙකක්
- ඉගුරු තේ හැන්දක්
- කරදමුංගු තේ හැදි කාලක්
- ටී බෑග් එකක්
- කිරි කෝප්ප බාගයක්
සාදන ආකාරය
වතුර කෝප්පය බඳුනකට දමා මද ගින්නේ විනාඩි 10ක් පමණ රත් කරගන්න. එයට ඉඟුරු සහ කරදමුංගු එකතු කර, තවත් මද වේලාවක් රත් කරන්න. ඉන්පසු තේ බෑගය සහ කිරි කෝප්ප භාගයක් එක් කර හොඳින් රත් කරගන්න. ලිපෙන් ඉවත් කර තේ බෑගය ඇතුළු සියලුම ද්‍රව්‍ය ඉවත් කරන්න. අවසානයේ මී පැණි එක් කර හොඳින් කලවම් කර උණුසුම්ව පිළිගන්වන්න.