රෝහලක කොවිඩ් මෘත දේහ 2ක් මාරු වීමෙන් විශාල කාලගෝට්ටියක්

moratuwa panadura hospital madakalapuva ottamadi
By Sewvandhi Aug 30, 2021 02:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබු දේහ 2ක් මාරුවීමේ පුවතක් වාර්තා වනවා.

එම රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන හත්වන වාට්ටුවේ සිට මිය ගිය වයස අවුරුදු 89ක් සහ 93ක් වයසැති කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරුයි මෙලෙස මාරු වී ඇත්තේ.

මොරටුව ලක්ෂපති ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි මුස්ලිම් කාන්තාවක් පසුගිය 21 වනදා මිය ගොස් ඇති අතර ඇය වෙනුවට මඩකලපුව - ඔට්ටමාවඩි ප්‍රදේශයේ මිහිදන් කර ඇත්තේ එදිනම මිය ගිය පානදුර වීරසිංහ මාවතේ පදිංචි 93 හැවිරිදි කාන්තාවකගේ දේහයක් බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පානදුර වීරසිංහ මාවතේ පදිංචි 93 හැවිරිදි කාන්තාවගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඇගේ ඥාතීන් පානදුර රෝහලට ගොස් දේහය පිළිබඳ විමසා සිටි අවස්ථාවේදීයී, දේහය මාරු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම, ෆයිසර් එන්නත් එක්ලක්ෂ පනස් දහසක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

මේ අතර නව කොරෝනා මරණ 192 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8,775 ක් දක්වා ඉහළ ගියා. නව ආසාදිතයන් 4,612 ක් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ හාරලක්ෂ 26,169 ක් ලෙසයි.

මේ අතර ඊයේ මෙරටින් වාර්තාවූ නව ආසාදිතයන් 4,612 දෙනාම අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 59,796 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ මුළු සංඛ්‍යාව 357,598 ක්.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට ඊයේ තහවුරු කරන ලද කොරෝනා මරණ 192 න් 156 ක් ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව වයස අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 36 දෙනෙකුද කොරෝනා ආසාදනය වී මිය ගොස් තිබෙනවා.

මේ අතර, දැනට සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 6,000කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය වී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා.

මහනුවර රෝහලේ පමණක් හෙද නිලධාරීන් 250 කට කොරෝනා ආසාදනය වී ඇති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග රෝහල්වලට ඇතුලත් වන රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. එවන් පසුබිමක වෙනත් රෝග සඳහා රෝහල් ගත වීමට බිය නොවන ලෙසට වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now