"මෙරට ලිංගික අපයෝජනය කර බාලවයස්කාර දරුවන් 17ක් ඝාතනය කරලා. පැය 2ට වරක් ළමා අපයෝජනයක් සිදු වෙනවා."
ශ්‍රී ලංකාව තුළ පසුගිය වසර දෙකේදී ශාරීරික අපයෝජනය හෝ ලිංගික අපයෝජනයට ලක් කර බාලවයස්කාර දරුවන් 17 දෙනෙකු ඝාතනය කර ඇති බව විශේෂඥ වෛද්‍ය තුෂ් වික්‍රමනායක සඳහන් කරනවා.
ඇය මේ බව සඳහන් කළේ, පෙරේදා දිනයේ අනුරාධපුර යසසිරිපුර වික්‍රමශීලා ධර්මායතනයට අනුබද්ධ වලිසිංහ හරිශ්චන්ද්‍ර දහම් පාසලේ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ මවුපියන් වෙනුවෙන් ‘ළමා අයිතිවාසිකම් සහ වගකීම්’ යන මැයෙන් පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහනකදීයි.
ඇය එහිදී වැඩි දුරටත් ප්‍රජාව දැනුවත් කරමින් අදහස් දැක්වූයේ මෙලෙසින්,
? "ළමයින්ට සිදුවන හිංසා සහ අපරාධ වැළැක්වීමට කිසිදු ආණ්ඩුවකට හෝ පුද්ගලයෙකුට නොහැකි වී තිබෙනවා. ඒ නිසා ළමයින්ව අපි අපි ම ආරක්‍ෂා කර ගැනීමට පියවර ගත යුතුයි.
? ළමා ආරක්‍ෂණය කියන්නේ සමාජ වගකීමක්. ළමයින්ට පමණක් නොව මවුපියන්ට වගේම වැඩිහිටි පරම්පරාවටත් සිය අයිතිවාසිකම් අහිමි වී තිබෙන රටක් බවට අද මේ රට පත්වෙලා. අපි හැම කෙනෙකුටම හැම තිස්සෙම ඉන්න සිදුවී තිබෙන්නේ බියෙන්, සැකෙන් සහ වේදනාවෙන්.
? පසුගිය මාස විසි හතරක කාලය තුළ දරුවන් දහහත් දෙනෙක් අපේ රටේ ශාරීරික අපයෝජනය හෝ ලිංගික අපයෝජනයට ලක් කර මරා දමා තිබෙනවා.
? ඒ දුවල පුතාල හැදුණේ වැඩුණේ තම තමන්ගේම නිවෙස්වල තමන් ආදරය කරන තමන් විශ්වාස කරන තමන් ආරක්‍ෂා කළ යුතු මවුපියන් ඥාතීන් සහ අසල්වාසීන් සමඟයි.
? ඔබේ දරුවන් රැක බලා ගැනීමේ වගකීම රජයකට හෝ රාජ්‍ය සේවයට කළ නොහැකියි. එම වගකීම පොලිසියට කළ නොහැකියි. ඔබේ දරුවන් රැක බලා ගැනීමේ වගකීම මහා සංඝරත්නයටවත් අන්‍යාගමික පූජ්‍ය පක්‍ෂයටවත් කළ නොහැකියි. එම වගකීම අපි වගේ සිවිල් සංවිධානවලට කළ නොහැකියි. මේ දරුවන් ආරක්‍ෂා කිරීම කළ හැක්කේ මවුපියන්ට පමණයි. ඒ පිළිබඳව ආණ්ඩුවකට බැනල වැඩක් නෑ. රාජ්‍ය සේවාවට බැනල වැඩක් නෑ.
? අපේ අම්මලා, තාත්තලා, දේශපාලනඥයන්, පොලිසිය, මහා සංඝරත්නය සහ අනෙකුත් පූජකවරුන් සහ ගමේ මිනිසුන් ඇතුළු කවුරුන් හෝ අපේ දරුවන්ට ආදරයෙන් සැලකුවේ නැති නම් අපේ රට ජරාම ජරා රටක්.
? තමන්ගේ දරුවා ආරක්‍ෂා කර ගැනීමට හැකිවන්නේ මවුපියන්ට පමණයි. අපේ වාසනාවකට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සුරැකීමට සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ලෝකයේ රටවල් එකසිය 96කින් සමන්විත කමිටුවක් දැන් අපට තිබෙනවා.
? දරුවන්ගේ අයිතිවාසිකම් සහ ආරක්‍ෂාව නැතිවන ප්‍රධාන කාරණාවක් තමයි ශාරීරික දඬුවම් කිරීම. සාමාන්‍යයෙන් ළමා අයිතිවාසිකම් කඩවන ප්‍රධාන කරුණු හතරක් තිබෙනවා. ශාරීරික අපයෝජන, ලිංගික අපයෝජන, මානසික අපයෝජන සහ නොසලකා හැරීම යන කාරණා ඒ අතර වෙනවා.
? ලංකාවේ සහ ලෝකයේ වැඩිපුරම සිදුවන අපයෝජනය තමයි ශාරීරික අපයෝජනය. මීට පසු දරුවන්ට පාසලේ, නිවෙසේ, පන්සලේ, කෝවිලේ, පල්ලියේ, බස් නැවතුම්පොළේ හෝ උපකාරක පන්තියක ඇතුළු ඕනෑම ස්ථානයකදී දඬුවම් කිරීමට කවුරුන් හෝ ආවොත් ඔයගොල්ලන් කියන්න ඕන නෝ ගුටි ව්‍යාපාරයට හෝ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ 1929 දුරකතන අංකයට. මීට පසු දරුවනේ ඔබට බයක් සැකක් ඇතිවුණොත් කියන්න කෙනෙක් නැත්නම් කාට ද කියන්න ඕන 1929ට හෝ noගුටි 16.2 ව්‍යාපාරයට.
? මේ රටේ කොහේ හෝ ප්‍රදේශයක පොදු ප්‍රවාහන සේවයක නැතිනම් ඔබ විශ්වාස කරන ඕනෑ ම ස්ථානයක සෑම පැය දෙකකට වරක් ම පොඩි පුතෙක් හෝ දුවෙක් ලිංගික අතවරයට ලක් වෙනවා.
? සියලු මවුපිය වැඩිහිටියන් එය සිහියේ තබාගත යුතුයි. උදේ ඉඳන් රාත්‍රිය වන විට අඩු ම වශයෙන් මේ රටේ දරුවන් විසි දෙනෙකුවත් ලිංගික අතවරයට ලක්වන බව සිතා ගන්න. දරුවන් ආරක්‍ෂා වී ඉන්න බවට මවුපියන්ට සහතිකයක් තියෙනවා ද? "
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |