වන අලින්ටම වෙන්වන භූමියක් පොළොන්නරුවෙන් - කලාහගලින් හෙක්ටයාර 15ක් වෙන් කරයි

Report

ශ්‍රී ලංකාවේ උතුරු හා උතුරු මැද ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම්, ගංවතුර සහ දුම්රිය අනතුරු ඇතුළු විවිධ ආපදා හේතුවෙන් මව්වරුන්ගෙන් වෙන්වන සහ තුවාල ලබන අලි පැටවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා පොළොන්නරුවේ කලාහගල ප්‍රදේශයේ නව ඇත්අතුරු සෙවණක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා පොළොන්නරුව නගරයට ආසන්න කලාහගල ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙක්ටයාර 15ක පමණ භූමි ප්‍රමාණයක් වෙන් කිරීමට එකඟතාව පළවී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේය.

වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මෙම ස්ථානය තෝරාගෙන තිබේ.

ඒ සඳහා අදාළ භූමිය ලබාදීමට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එකඟතාව ද හිමිව ඇත.

තවත් ඇත් රජෙකුට අසාධ්‍යයි - උදරය දැඩි ලෙස ඉදිමී දරුණු වේදනාවෙන් - වනජීවී නිලධාරීන් පැමිණෙයි

තවත් ඇත් රජෙකුට අසාධ්‍යයි - උදරය දැඩි ලෙස ඉදිමී දරුණු වේදනාවෙන් - වනජීවී නිලධාරීන් පැමිණෙයි

අලි පැටවුන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමේ අවස්ථාව

ශ්‍රී ලංකාවේ සමස්ත අලි ගහනය 7,000කට ආසන්න වන අතර, ඉන් අලි ඇතුන් 1,300ක් පමණ පොළොන්නරුව කලාපයේ වාසය කරන බව සඳහන් වේ.

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එකම ඇත්අතුරු සෙවණ උඩවලව ප්‍රදේශයේ පිහිටා තිබීම හේතුවෙන්, පොළොන්නරුවේ සිට එහි අලි පැටවෙකු ප්‍රවාහනය කිරීම සඳහා පැය හතත් නවයත් අතර කාලයක් ගතවේ.

තුවාල ලැබූ අලි පැටවුන් එතරම් දිගු කාලයක් ප්‍රවාහනය කිරීම ඔවුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් ඇති කරන බැවින්, පොළොන්නරුවේ නව මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් එම ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව, ආපදාවලට ලක්වන අලි පැටවුන්ට පැයක් හෝ දෙකක් ඇතුළත අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂිතය.

අද පස්වරු 4 දක්වා - මේ දිස්ත්‍රික්ක සඳහා - නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කෙරේ

අද පස්වරු 4 දක්වා - මේ දිස්ත්‍රික්ක සඳහා - නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කෙරේ

අලි උපගහන ආරක්ෂා කිරීමටත් වැදගත් පියවරක්

මෙම වැඩපිළිවෙළේ විද්‍යාත්මක වැදගත්කම පැහැදිලි කරමින් හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ අලි පර්යේෂකයෙකු වන ආචාර්ය සුමිත් පිළපිටිය මහතා පෙන්වා දෙන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ වනජීවී දෙපාර්තමේන්තුව සිදුකළ පර්යේෂණ අනුව ශ්‍රී ලංකාවේ අලි ගහනයේ ප්‍රධාන උපගහන තුනක් හඳුනාගෙන ඇති බවයි.

ඒවා උතුරු හා උතුරු මැද, නැගෙනහිර සහ දකුණ යන කලාපවලට අයත් වේ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රැගෙන එන අලි පැටවුන් උඩවලව ප්‍රදේශයේදී රැකබලාගෙන පසුව දකුණු කලාපයේ වනජීවී රක්ෂිතවලට මුදාහැරීමෙන් එම උපගහන අතර ස්වභාවිකව පවතින වෙන්වීම වෙනස් වීමේ හැකියාවක් පවතින බව ද ඔහු පෙන්වා දෙයි.

එබැවින්, පොළොන්නරුවේ නව මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් උතුරු හා උතුරු මැද ප්‍රදේශවලින් රැගෙන එන අලි පැටවුන්ට ප්‍රතිකාර කිරීමෙන් පසු එම කලාපවලට අයත් වනජීවී රක්ෂිතවලටම මුදාහැරීමට අවස්ථාව සැලසීම විද්‍යාත්මක වශයෙන් වැදගත් බව ආචාර්ය සුමිත් පිළපිටිය මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ප්‍රදේශවාසීන්ටත් ආර්ථික ප්‍රතිලාභ

නව ඇත්අතුරු සෙවණ ස්ථාපිත කිරීමත් සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට ද අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම, අලි පැටවුන්ට අවශ්‍ය ආහාර සැපයීම ඇතුළු විවිධ සේවා සැපයීම හරහා ප්‍රදේශවාසීන්ට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රැසක් උදාවනු ඇති බව ද දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේය.

වන අලි ඝාතන මැඩලීමට දැඩි පියවරක් - වනජීවී අපරාධ මැඩලීමට ඒකාබද්ධ වැටලීම් දැඩි කෙරේ

වන අලි ඝාතන මැඩලීමට දැඩි පියවරක් - වනජීවී අපරාධ මැඩලීමට ඒකාබද්ධ වැටලීම් දැඩි කෙරේ