විල්පත්තුව වැනසූ පුද්ගලයින් 14 දෙනෙකුට වැඩ වරදියි
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් අධි සංවේදී ප්‍රේරණ කලාපය මධ්‍යයේ ගලා බසින කලාඔයේ දිය නෑමේ මුවාවෙන් පැමිණ, එහි ස්වාභාවික පරිසර පද්ධතියට බරපතළ හානි කරමින් නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 14 දෙනෙකුට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරූ බව එළුවන්කුලම වනජීවී කාර්යාලය සඳහන් කරයි.
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකින් දිනකට 1,000 කට අධික පිරිසක් දිය නෑම සඳහා කලාඔය පරිශ්‍රයට පැමිණ පරිසරය විනාශ කරන බවට වනජීවී නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව ඊයේ (08) මෙම හදිසි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
එම අවස්ථාවේදී අදාළ සැකකරුවන් සංවිධානාත්මක අයුරින් අධික ශබ්ද වාහිනී යොදා ගනිමින් විනෝද සාද පවත්වමින් මත්පැන් පානය කර ඇති අතර, තවත් පිරිසක් බිලිපිති සහ තහනම් දැල් වර්ග යොදා ගනිමින් කලාඔයේ මසුන් මරමින් සිට ඇති බව ද අනාවරණය වී ඇත.
එලෙසම, ප්‍රදේශයේ පිහිටි දුර්ලභ ගණයේ කුඹුක් ශාක මුල්වල ගිනි දැල්වීම, ගස්වල අතු කපා දැමීම සහ නිවෙස්වලින් ගෙන එන ලද ඝන අපද්‍රව්‍ය ස්වභාවික පරිසර පද්ධතියට මුදාහැරීම හේතුවෙන් එම ප්‍රදේශයේ උග්‍ර පාරිසරික හානියක් සිදුව තිබූ බව ද වාර්තා වේ.
තහනම් දැල් යොදා ගනිමින් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වලයා සහ රෝගුවා ඇතුළු ලූළන්, ගෝල්ඩන් සහ කැට්ලෝ නැමති මත්ස්‍ය විශේෂ විශාල ප්‍රමාණයක් අල්ලා හොර රහසේ රැගෙන යාමට උත්සාහ කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් එම මසුන් නැවත නිරුපද්‍රිතව කලාඔයට මුදා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබුණි. මෙම සෝදිසි මෙහෙයුමේදී රාජකාරියට බාධා කළ පිරිසකට එරෙහිව ද නඩු පැවරීමට පියවර ගෙන ඇත.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත ප්‍රකාරව සැකකරුවන්ට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති අතර, වනජීවී ඇප මත මුදාහැරි සැකකරුවන් ඉදිරි දිනයේදී පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් එළුවන්කුලම වනජීවී ඒකකයේ නිලධාරීන් වැඩිදුර පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.