පුහුණුවක් අතරතුර තරුණයෙක් ජීවිතක්ෂයට..!
නායකත්ව පුහුණුවක් අතරතුර සිදුවූ අනතුරකින් 28 හැවිරිදි යසින්ත ක්‍රිශාන් නම් තරුණයෙකුට දිවි අහිමි වී තිබේ.
ඔහු පෞද්ගලික දුරකථන සමාගමක ඉංජිනේරු අංශයේ සේවය කර ඔහු දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . පසුගිය 6 වනදා එම ආයතනයේ යසින්ත ද ඇතුළු පිරිසක් ඌව කුඩාඔය කමාන්ඩෝ කඳවුරේ නායකත්ව පුහුණුවක් සඳහා සහභාගී වී ඇත.
ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සඳහා එක්වූ එම පිරිස සිදු කළ කේබල් මතින් ගමන් කිරීමේ ක්‍රියාකාරකමකට යසින්ත ද එක්වන්නේ ඒ අනුවය. 16 දෙනෙකු කේබල් මතින් ඒ කොණ සිට මේ කොණට පැමිණියත් 17 වැනියා වූ යසින්තට ක්‍රියාකාරකම නිමා කරන්නට හැකිවන්නේ නැත.
ප්‍රධාන රැහැන එක් පසෙකින් බිඳී ගොස් යසින්ත ජලයට ඇදවැටෙන්නේ නිමේෂයකිනි. තරුණයා ජලයට වැටීමත් සමග එහි මඩ කැලතීම නිසා ඔහු සොයාගැනීමට විනාඩි 3ක් 4ක් පමණ ගතවී ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේ.
තණමල්විල රෝහලට තරුණයාව ඉක්මනින් ඇතුළත් කළ ද ඔහු ඒ වනවිටත් ජීවිතයෙන් සමුගෙන තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය. යසින්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) පස්වරුවේ සිදුකළේය.
