ලබන අවුරුද්දෙ වැඩ කරන්නෙ මෙහෙමයි...බැසිල් විශේෂ පනත ඉදිරිපත් කරයි.
2022 විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3ක් ලෙස සටහන් වනවා.
ඉන් බිලියන 1,776කට වැඩි ප්‍රමාණයක් පුනරාවර්තන වියදම්.
මෙම වසරේ වියදම වන රුපියල් බිලියන 2,538කට සාපේක්ෂව ලබන වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33කින් අඩු කර තිබීම විශේෂත්වයක්.
එහි පොදු සේවාවන් සඳහා වෙන් කර ඇති මුළු මුදල ලෙස දක්වා ඇත්තේ බිලියන 12.6ක් ලෙසයි. ඊට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, අධිකරණය, පාර්ලිමේන්තුව සහ කොමිසන් සභා ඇතුළු ආයතන ඇතුළත්.
ලබන වසරේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.78ක් ලෙස දැක්වෙනවා.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ජනාධිපතිවරයාගේ වියදම් රුපියල් බිලියන 6.6කින් අඩුකර තිබෙනවා.
ලබන වසරේද ඉහළම අගයක් ගන්නේ ආරක්ෂක වැය ශීර්ෂයයි.
මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 18කින් ආරක්ෂක පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.
මෙම වසරේදී රුපියල් බිලියන 355ක් ආරක්ෂක වැය ශීර්ෂයට වෙන්වුණු අතර, මෙවර එහි අගය බිලියන 373ක්.
ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයටයි.
මෙවර රුපියල් බිලියන 286.7ක් එම අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර, ඉන් බිලියන 286ක්ම පුනරාවර්තන වියදම්.
ඊට පසු වැඩිම මුදලක් මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර, එය රුපියල් බිලියන 250.1ක්.
ඉන් බිලියන 250ක්ම ප්‍රාග්ධන වියදම් වනවා.
මෙම වසරේදී රුපියල් බිලියන 126.5ක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය ලබන වසර සඳහා බිලියන 127.6ක් ලෙස ඉහළ දමා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 153.5ක් වෙන් කර ඇති අතර, එය මෙම වසරට සාපේක්ෂව බිලියන 06ක පමණ අඩුවීමක්.
මුදල් අමාත්‍යාංශය සඳහා බිලියන 185.9ක වෙන් කර තිබෙනවා.
එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 28ක වැඩිවීමක්.
අයවැය දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් නොවැම්බර් 12 වනදා පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.
අයවැය ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |