අවේලාවේ ගරු සත්කාර ඉල්ලූ දේව මාතාවට සැමියා පහර දීලා...

YA PAHUVA WIFE CHEAT SHANTHIKARMA
By Sewvandhi Nov 13, 2021 02:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අපලයකට ශාන්තියක් කර ගැනීමට දේවාලයකට ගිය නිවෙස් හිමියකු එහි වූ ග්‍රහ මාරුව දැක කලකිරීමට පත්ව තමන් ඒ සඳහා වැය කළ අත්තිකාරම පොලිසියේ සහායෙන් ආපසු ඉල්ලා සිටීමේ සිද්ධියක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි. අනාවරණය වන ආකාරයට සිද්ධිය මෙසේය. බිරිය හා දරුවන් තිදෙනෙකු සමඟ වාසය කරන විවාහක සැමියා දෙවියන් කෙරෙහි විශ්වාසයකින් සිටින්නෙකි.

දරුවන් රෝගීවන්නේ අපලය නිසා යැයි ඔහු තදින්ම විශ්වාස කළේ ය. ඒ සඳහා සාස්තර කියන දේවාල කරා යාම ඔහුගේ සිරිත විය. අවට වැසියන් කියන කියන තැනට ගොස් සාස්තර ඇසීමටත්, යන්ත්‍ර මන්ත්‍ර කර ගැනීමටත් කටයුතු කළ අවස්ථා එමටය. දිනක් මිතුරෙකු මාර්ගයෙන් ප්‍රදේශයේ පවතින විශ්වාසවන්ත දේවාලයකට ඔහු ගියේය.

“මිය ගිය ඥාතියකුගේ බැල්මක් නිසා තම පවුලේ අය රෝගීවන බවත්, මේ නිසා නිවසේ නිතර නිතර ආරවුල් පවතින බවත් ගෙහිමියා පැවැසූ අතර ඒ සඳහා ශාන්ති කර්මයක් කිරීමට අවැසි කටයුතු සියල්ල සූදානම් කෙරුණි. ඒ සඳහා දේවාලයේ කපුවා අත්තිකාරම් ලබාගත්තේ නියමිත දිනට එය කරදීමේ අදිටනින් යුතුවය. පවතින කොරෝනා ව්‍යසනය නිසා ශාන්තිය දිනෙන් දින පමා විය. කෙසේ වෙතත් එයට නියමිත දිනයද ළඟා වෙමින් තිබුණි. එයට පෙර දින නිවෙස් හිමියා උදේම දේවාලයට ගියේ ජප කිරීමට අවැසි යන්ත්‍ර හා සුර ආදිය නිසි ලෙස සැකසීමට බාර දීම සඳහාය.

එදින කෙම්මුර දිනයක් වුවත් දේවාලයේ වැඩ නැත. දේව ආභරණ තැන තැන මිදුලේ විසිරී තිබුණි. දේවාලයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත. සිද්ධිය ගැන ඔහු සොයා බැලීය. දේවාලයේ දෙවියා ලෙස ආරූඪ වන්නේ එම නිවසේ සැමියාගේ බිරියයි. දේව මාතාවට ආවතේව කරන්නේ සැමියාය. දේවාරූඪය නැති අවස්ථාවලදී පවා තමන්ට මෙන් දෙවියන්ට සලකන ලෙස ඇය සැමියාට කියන්නීය. එහෙත් සැමියා එසේ කිරීමට බැඳී නැත. මත් වතුර පානය කර සිටි සැමියා දේවාලයට පැමිණියේය.

ඇය ඔහුට දොස් නැගුවාය. “දෙවියන්ට ගරු කිරීම වෙනයි, බිරියට සැලකීම වෙනයි” කියමින් කෝපයට පත්ව ඔහු ඇයට පහර පිට පහර දුන්නේය. දේවාලයටද, දේවාභරණවලට හානි සිදුවිය. පහර කෑමෙන් තුවාල ලැබූ ඇය රෝහල් ගත කෙරුණි. සැමියා අත්අඩංගුවට ගැනීමට පසුදින උදේ පොලීසිය දේවාල බිමේ පිහිටි නිවහන කරා පැමිණියේය.

දේව ශාන්තිය කර ගැනීමට සුර හා යන්ත්‍ර රැගෙන පැමිණි පුද්ගලයා දේවාලයේ අයට සමගියෙන් වාසය කරන්න බැරි නම් වෙන අයගේ අපල දුරුකර ගන්නේ කෙසේ දැයි කියා බොරු නොකරන මෙන් පවසා ශාන්තියට දුන් අත්තිකාරම් මුදල ආපසු ඉල්ලා සිටියේය. එම මුදල නොගෙවන බව දේව මාතාවගේ සැමියා පැවසුවත් පොලීසිය මැදිහත්ව එම මුදල ඉල්ලා දුන් නිසා වංචනිකයින්ට බොරුවට ගෙවන්න ගිය රුපියල් පනස්දහසක පමණ මුදලක් ඉතිරිකර ගන්නට හැකි වූ බව පවසා ශාන්තිය නවතා දැම්මේය.

(මොරගොල්ලාගම සිසිර කැලේගම)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha