16 දරුවා සිදුකළ මාරක අනතුරේ සංවේදී කතාව. "මල්ලිගෙ අතපය හතරම කැඩිල"(VIDEO)

Police Mahabage Welisara accident
By Aruna Nov 05, 2021 06:33 AM GMT
Aruna

Aruna

Report

වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වු එක්දරු පියාගේ ඥාතීන් අද (05) මහබාගේ පොලීසිය ඉදිරිපිට ට රැස්ව සිටියේය.

ඔවුන් පවසා සිටියේ, අනතුර ට වගකිව යුතු පාර්ශවයට නීතියෙන් නිසි දඬුවම් ලබාදෙන ලෙසය.

16 හැවිරිදි දරුවෙකු පැදවු අධි සූඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ (04) උදෑසන 9.05ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී සිදුවු අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලැබීය.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා 51 හැවිරිදි ලී වැඩපොළක සේවකයෙකු වන අතර අනෙක් තිදෙනාගෙන් එක් අයකෙුගේ ද තත්ත්වය බරපතළ බව වාර්තා වුණි.

එලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි පාසල් සිසුවෙක් වන අතර මියගිය පුද්ගලයා එම දරුවාගේ ඥාතියෙකි. මියගිය පුද්ගලයාගේ දියණිය මෙලෙස අදහස් පළ කළේය.

"අම්මලා තාත්තලාගේ නොසැලකිලිමත්කම නිසා කරපු දෙයින් මගේ පවුලම අසරණයි.

මගේ මල්ලිගේ කකුල් අතපය ඔක්කෝම ඉවරයි. එයාගේ ජීවිතෙත් එහෙම් පිටින් ම ඉවරයි. මරණෙත් එක්ක එයා සටන් කරන්නේ. අද මගේ තාත්තා මරණයට පත්වෙලා.

අපේ ඉස්සරහ අනාගතේට කවුද වගකියන්නේ. ඒ අයට කිසිම ගානක් නෑ. නීතිය යටත්පත් කරන්නේ නැතුව මේකහරි විසඳුවොත් හොඳයි.

රියදුරු බලපත්‍රයක්වත් නෑ ඒ ළමයට. අන්තිමේ දී අපිට තමයි මේ අසාධාරණය වුණේ. මේකට නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මගේ තාත්තට වගේ ම අනිත් අයට මීට කලින් අසාධාරණ වෙලා තියෙනවා.

ඒවත් ඔක්කෝම යටපත් වුණා මිල මුදල් තනතුරු නිසා. මගේ තාත්තට හරි මේ අසාධාරණය නොවී අපිට සාධාරණයක් ඉටුකරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

" අනතුර සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි දරුවෙක් හා එම වාහනයේ හිමිකරු වන පාසල් සිසුවාගේ පියා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි. අනතුර සිදුවන අවස්ථාවේ දී පාසල් සිසුවාගේ සොහොයුරිය ද මෝටර් රථය තුළ සිට ඇත.

මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුට අයත් එම සුඛෝපභෝගී මෝටර් රථය ඔහුගේ පුත්‍රයා විසින් රැගෙන ගොස් ඇති අතර, අනතුර සිදුවු ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයා පවසා සිටියේ, වාහනය පුතා විසින් රැගෙන ආ බව නොදැන සිටි බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (05) වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha