CID එකේ ඩීඅයි.ජී. පුරප්පාඩුවට ආයෙත් විශ්‍රාම යවපු ලොක්කෙක්ම ගන්න ප්ලෑනක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරටද කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සේවය ලබාගැනීමට නියමිත බව පොලිස් මූලස්ථාන තොරතුරු හෙළි කරන බව සඳහන්.
මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිධූරයට පුරප්පාඩුවක් පවතී.
ඒ අනුව වාර්තා වන්නේ අඳාළ තනතුරට පත්කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තුළ 50කට වැඩි නියෝජ්‍ය පොලිස්පතිවරු සිටියත් එම පුරප්පාඩුව පිරවීමට පොලිස් බලධාරීන් පියවර ගෙන නැති බවයි.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවයේ නිරතව සිටින ශානි අබේසේකර ද කොන්ත්‍රාත් පදනමින් සේවයේ නිරතව සිටින බව සඳහන්.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් වන ඔහු ගේ වසරක කොන්ත්‍රාත් කාලය තවත් මාස කිහිපයකින් අවසන් වීමට නියමිතව තිබෙනවා.
මේ අතර පොලිස් ආරංචි මාර්ග පවසන්නේ තවදුරටත් ඔහුගේ කොන්ත්‍රාත් සේවා කාලය වසරකින් දිගුවනු ඇති බවයි.
කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් මෙතෙක් කාලයක් සේවයේ නිරතව සිටියේ වැඩ බලන පොලිස්පතිවරයෙක් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. අම්පාවිල මහතායි. ඔහු මාස කිහිපයකට පෙර සිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුව පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන තිබුණා.
එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් නැවත කොන්ත්‍රාත් පදනමින් පත්කිරීමට නියමිතව ඇත්තේ ඔහු බවට ආරංචි මාර්ග පවසයි.
මෙහිදී එම පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුව ඇතත් ඔහු විශ්‍රාම යන විට දරා ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වශයෙන් ඔහුව පත්කිරීම පිළිබඳව ගැටළුවක් දැනටමත් පැන නැගී ඇති බව සඳහන්.
මෙයට හේතුව ඔහු නියෝජ්‍ය පොලිස්පතිධූරයේ කටයුතුකර ඇත්තේ වැඩ බැලීම සඳහා වන හෙයිනි.
කෙසේ වෙතත් මෙම නිලධාරියා විශ්‍රාම යන විට නියෝජ්‍ය පොලිස්පති ධූර පුරප්පාඩු පිරවීමට සම්මුඛ පරීක්ෂණ කැඳවා තිබූ නිසා විශ්‍රාම ගියද ඔහුට එම සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිට උසස්වීම ලබාගැනීමට හැකියාව ඇත.
මේ තත්ත්වය මත මෙම නිලධාරියා ඉදිරියේදී පැවැත්වෙන නියෝජ්‍ය පොලිස්පති සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට නියෝජ්‍ය පොලිස්පතිධූරය ලබාගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිධූරයට නැවත ගෙන ඒමට නියමිත බව වාර්තා වේ.
එසේම මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිධූරය සහ අධ්‍යක්ෂධූරය කොන්ත්‍රාත් පදනමින් විශ්‍රාමික පොලිස් නිලධාරීන් පත්කර නොතිබුණු බව ද සඳහන්.
