සේප්පුවේ යතුරත් අරන් වැලිකඩ පොලිස් සැරයන් පලා යයි - වැඩ තහනම් කිරීමට නියෝගයක්
නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ගණකාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සේප්පුවේ මුදල් සහ මුදල් පොත් පරීක්ෂා කිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී, මුදල් සේප්පුවේ යතුරත් රැගෙන පොලිස් ස්ථානයෙන් පලාගිය පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ වැලිකඩ පොලිස් ස්ථානයේ පාලන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් බව සඳහන්.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ විශේෂ නියෝගයක් පරිදි නුගේගොඩ කොට්ඨාසයේ ගණකාධිකාරීවරයා සහ එම කාර්යාලයේ නිලධාරීන් ඉකුත් තුන්වැනිදා වැලිකඩ පොලිසියේ මුදල් පොත් සහ ගිණුම් පරීක්ෂා කිරීමට පැමිණෙන බව කල්තියාම දැන දැනම, මෙම සැරයන්වරයා මුදල් සේප්පුවේ යතුර ද රැගෙන කිසිදු අවසරයකින් තොරව පොලිස් ස්ථානයෙන් බැහැරව ගොස් තිබූ බව විමර්ශනවලදී වාර්තා වේ.
අනතුරුව අදාළ සැරයන්වරයා පසුදින නැවත පොලිස් ස්ථානය වෙත පැමිණ ඇති අතර, එහිදී සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පොලිස් නිලධාරීන්ට අයත් රුපියල් එක්ලක්ෂ සැටඑක්දහස් දෙසියහතළිස් පහක ත්‍යාග මුදලක් නිල මුදල් සේප්පුවේ තැබීම වෙනුවට, වෙනත් කාමරයක තිබූ අල්මාරියක සඟවා තබා තිබූ බවයි.
සැරයන්වරයා විසින් නිල සේප්පුවේ සුරක්ෂිතව බහා තැබිය යුතු රජයේ සහ නිලධාරීන්ගේ මුදල් නිසි අවසරයකින් තොරව වෙනත් ස්ථානයක රඳවා තැබීම සම්බන්ධයෙන් සහ නිල විමර්ශන කටයුතු සිදුවන අතරතුර ඉහළ නිලධාරීන්ට නොදන්වා පොලිස් ස්ථානයෙන් බැහැරව යාම යන චෝදනා මුල් කරගනිමින් මෙම වැඩ තහනම පනවා තිබේ.
සහකාර පොලිස් අධිකාරී තුන බී එල් ඒ ප්‍රසන්න මහතා විසින් මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.