කෑගල්ලට නව අධිකරණ සංකීර්ණයක් – වැඩ ආරම්භ කිරීමට අධිකරණ ඇමැතිගෙන් උපදෙස්
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා සහ කෑගල්ල, වරකාපොල, මාවනැල්ල මෙන්ම රුවන්වැල්ල යන නීතීඥ සංගම්වල උසස් නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය හත්වැනිදා කෑගල්ල අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී පවත්වා තිබේ.
කෑගල්ල අධිකරණ සංකීර්ණයේ දෛනික අධිකරණමය කටයුතු සිදු කිරීමේදී මුහුණ දීමට සිදුවන විවිධ ගැටළු, ඓතිහාසික නඩු වාර්තා සුරක්ෂිතව ගබඩා කිරීමේදී ප්‍රමාණවත් පරිදි ඉඩකඩ සහ තාක්ෂණික පහසුකම් නොමැතිවීම මෙන්ම නීතිඥ මහත්වරුන්ට සහ අධිකරණ ක්ෂේත්‍රයේ සේවකයන් වෙනුවෙන් රථවාහන නැවැත්වීම සඳහා සුදුසු වාහන අංගනයක් නොමැතිවීමේ අපහසුතාවන් සම්බන්ධයෙන් මෙහිදී නීතිඥ මහතුන් විසින් අමාත්‍යවරයා සවිස්තරාත්මකව දැනුවත් කිරීමට කටයුතු කළහ.
එහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ දැනට පවතින මෙම අධිකරණ සංකීර්ණය වෙනුවට සියලු නවීන පහසුකම්වලින් සමන්විත මහල් හයකින් යුක්ත දැවැන්ත නව අධිකරණ සංකීර්ණයක් කෑගල්ල ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා අවශ්‍ය කරන මූලික සැලසුම් සහ සියලු වැඩ කටයුතු මේ වන විටත් සම්පූර්ණයෙන්ම සකස් කර අවසන් බවයි.
එමෙන්ම වාහන නැවත්වීම සඳහා අදාළ භූමියේ පිහිටීම ක්‍රමවත්ව සලකා බලා අවශ්‍ය ඉඩ පහසුකම්වලින් යුත් නවීන වාහන අංගනයක් ද ඒ සමඟම සකස් කිරීමට කටයුතු කරන ලෙසත්, මෙම සියලු ඉදි කිරීම් කටයුතු ස්වභාවික පරිසරය උපරිමයෙන් ආරක්ෂා වන ආකාරයට සිදු කරන ලෙසත් අධිකරණ අමාත්‍යාංශයේ තාක්ෂණික නිලධාරීන් වෙත අමාත්‍යවරයා එම ස්ථානයේදීම දැනුම් දුන්නේය.