සුනාමිය නිසා අද විනාඩි 2ක් මුලු රටම අවධානයෙන් ඉන්න...
සුනාමි ව්‍යවසනය සිදුවී වසර 19ක් ගත වන අද (26), මිය ගිය ජනතාව සිහිපත් කරමින් දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළ කර ඊට ගෞරව දක්වන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ, ඒ අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවක් දක්වන ලෙසයි.
2004 දෙසැම්බර් 26 වැනි උඳුවප් පොහෝ දා ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පාවෙන් ඇති වූ සුනාමි ව්‍යසනය, ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා.
එම කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 09.0 ලෙසට පසුව අනාවරණය කෙරුණු අතර, මෙම සුනාමි තත්වය හමුවේ ශ්‍රී ලංකාව ද ඇතුලුව රටවල් රැසකින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 228,000කට ආසන්න බවයි. සුනාමි ව්‍යසනයට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් ගොදුරු වූ අතර, එහිදී මියගිය සංඛ්‍යාව 35,000ක් පමණ වුණා.
ඉන් දෙදහසකට ආසන්න පිරිසකට දිවි අහිමි වූයේ ලොව දරුණුතම දුම්රිය අනතුරක් ලෙසට ද සැලකෙන පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි රළ පහරට හසුවූ දුම්රියේ ගමන් කරමින් සිටියදීයි.
එමනිසා සුනාමි ව්‍යවසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා 2005 අංක 15/1975/715/001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2006 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වැනි දින 'ජාතික සුරක්ෂිත දිනය' ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව ජාතික සුරක්ෂිත දිනය සර්වාගමික වතාවත් වලට මුල් තැන දෙමින් සැමරීමට රජය තීරණය කර තිබෙනවා.
ප්‍රධාන සැමරුම් උත්සවය පැරැලිය සුනාමි ස්මාරකය අබියසදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30 ආරම්භ වීමට නියමිතව ඇත.
මේ අතර පැරූලිය දුම්රිය අනතුර සිහිකරමින් කොළඹ කොටුවේ සිට දුම්රියක් බෙලිඅත්ත දක්වා අද පෙරවරුවේ ධාවනයට එක් කර තිබීම ද විශේෂත්වයක්.
එය පැරෑලිය සුනාමි ස්මාරකය අසළ නතර කර ධාවනය කිරීමට නියමිත අතර ඊට එක් කර ඇත්තේ සුනාමි රළ පහරට හසුවූ දුම්රියේ එන්ජිම වීම ද විශේෂත්වයක් වනවා.
මෙහි අතීතාවර්ජනය පිළිබඳව ගගන සැකසූ වීඩියෝවක් පහතින්,
