අවයව කොටස් 05ක් පුද්ගලයන් 07දෙනෙක්ට දන් දී සියලු හදවත් සංවේදී කරවමින්, මිය ගිය විහඟනාගේ උසස් පෙළ ප්‍රතිඵලය.

Sri Lanka G.C.E.(A/L) Examination
By Sithumi Sep 04, 2023 05:16 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය මාර්තු මාසයේ මොළය මියගිය දැරියකගේ සිරුරේ අවයව කොටස් කිහිපයක් සාර්ථකව බද්ධ කිරීමේ පුවතක් වාර්තා විය.

මෙලෙස ජීවිතයෙන් සමු ගත්තේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උසස්පෙළ සිසුවියක් වූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ දැරියයි.

විහඟනා මෙවර උසස්පෙළ විභාගය ඉහළින් ම සමත් වී තිබෙනවා.

ඒ අනුව වාණිජ අංශයෙන් 2022 (2023) උසස්පෙළ විභාගයට මුහුණ දුන් ඇය A සාමාර්ථ ත්‍රිත්වයක් ලබාගනිමින් එම කඩඉම ඉහළින්ම ජයගෙන ඇත.

විහඟනා වීරසිංහ අඹන්පොල නගරයෙ පදිංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවා වන අතර ඇයට වැඩිමහල් සොහොයුරෙක් සහ සොහොයුරියක් සිටියි. 

විහඟනා උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් හදාරා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙක් වූවා.

මාර්තු 17 වනදා විහඟනාව ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කළේ හදිස්සියේ ඇති වූ හිසේ අමාරුවක් හා වමනය හේතුවෙන් ය.

ඇය එලෙස රෝගී වූයේ අනුරාධපුරයේ ඉදිකෙරෙමින් පවතින සඳහිරු සෑයේ ඉදිකිරීම් සඳහා ගඩොල් ඇදීමේ පුණ්‍යකර්මයට දායක වී නිවසට පැමිණි මොහොතේ ය.

පසුව එදින රාත්‍රියේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වු ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දීම මිය ගියේ ය.

මේ අතර වාර්තා වන්නේ ඇය මරණින් පසුව සිරුරු කොටස් දන්දීම සඳහා ද ගිවිසුම්ගතව සිටි බවයි.

මෙලෙස සියලුදෙනා හඬවමින් විහඟනා ඇගේ ජීවිතයට සමුදුන්නේ තවත් කිහිපදෙනෙකුට නිරෝගී ජිවිතයක් ලබා දෙමින් ය.

ඒ අනුව විහඟනාගේ සිරුරෙන් ලබාගත් අවයව කොටස් 5ක් පුද්ගලයින් 7දෙනෙකුට තවත් බොහෝ කලක් නිරෝගිව ජීවත්වීමට හැකියාව ලැබිණ.


ReeCha