IPL පිටියේ දස්කම්වලට වෛභව් සූර්යවංශිට සුපිරි තෑග්ගක් - පොරොන්දු වූ SUV රථය හිමිවෙයි
ඉන්දීය ක්‍රිකට් පිටියේ යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශිට IPL 2026 තරගාවලියේදී දැක්වූ දක්ෂතා වෙනුවෙන් පොරොන්දු වූ ටාටා සීරා (Tata Sierra) SUV රථය හිමිව තිබේ.
ඒ අනුව, සූර්යවංශි සිය පවුලේ සාමාජිකයන් සමඟ ටාටා ප්රදර්ශනාගාරයකදී නව මෝටර් රථය සමඟ ඡායාරූපවලට පෙනී සිට ඇති අතර, එම ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වෙමින් පවතී.
මෙම SUV රථය ඔහුට හිමිව ඇත්තේ IPL 2026 තරගාවලියේ ‘Super Striker of the Season’ සම්මානය දිනාගැනීම වෙනුවෙනි.
15 හැවිරිදි වෛභව් සූර්යවංශි 2025 වසරේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරමින් IPL තරගාවලියට පිවිසි අතර, එතැන් සිට ඔහුගේ දක්ෂතා හේතුවෙන් විශාල අවධානයක් දිනා ගැනීමට සමත් විය.
මෙය ඔහුට හිමි වූ පළමු මෝටර් රථය නොවේ. IPL 2025 තරගාවලියේදී ද ‘Super Striker of the Season’ සම්මානය දිනාගැනීම වෙනුවෙන් ඔහුට ටාටා කර්ව් EV (Tata Curvv EV) විද්‍යුත් SUV රථයක් තිළිණ කර තිබුණි.
IPL 2026 තරගාවලියේදී සූර්යවංශි තරග 16කදී ලකුණු 776ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
එහිදී ඔහු හතරේ පහර 63ක් සහ හයේ පහර 72ක් එල්ල කර තිබූ අතර, අර්ධ ශතක පහක් සහ ශතකයක් ද ඊට ඇතුළත් විය.
ඒ අනුව ඔහු තරගාවලියේ ඔරේන්ජ් කැප් (Orange Cap) සම්මානය ද දිනා ගත්තේය.
එම දක්ෂතා සමඟින් ඔහුට ඉන්දීය ජාතික කණ්ඩායමට කැඳවීමක් ද හිමි වූ අතර, පසුගිය ජූලි මාසයේදී එංගලන්තයට එරෙහි විස්සයි20 තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේය.
තවද, බිහාර් ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ද පත්කර ඇති සූර්යවංශි, සයිඩ් මුෂ්ටාක් අලි කුසලාන තරගාවලියේ පළමු තරග දෙකේදී කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.