බුකියම කැළඹූ කේ.කේ. සිද්ධියට - තිස්ස ජනනායක අවසානයේ සමාව ගනී [VIDEO]
කේ.කේ. සමන් කුමාර සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් තම දැනුවත්භාවයකින් තොරව සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බව ජනප්‍රිය ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක පවසයි.
එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැරීමට කටයුතු කළ පාර්ශ්වයන්ට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කර තිබේ.
පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අදාළ වීඩියෝවේදී, කේ.කේ. සමන් කුමාර නමැති පුද්ගලයෙකු 'බුදුන්ගේ රස්තියාදුව' නමැති කෘතිය රචනා කර ඇති බවත්, ඔහු සිරගතවු බවද, නිරාගමිකයෙකු බවත් තිස්ස ජනනායක ප්‍රකාශ කරන අයුරු දැකගත හැකි විය.
කෙසේ වෙතත්, එම කෘතියේ කතුවරයා කේ.කේ. සමන් කුමාර නොව කේ.කේ. ශ්‍රීනාත් බවට කරුණු ඉදිරිපත් වීමත් සමඟ තිස්ස ජනනායකගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ විය.
ඒ අනුව, සිසුන් හමුවේ වැරදි තොරතුරු ප්‍රකාශ කළ බවටද ඔහුට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී තිබිණි.
එමෙන්ම මීට පෙර එම්.සී.සී. ගිවිසුම සහ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශ පිළිබඳවද නැවතත් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිස්ස ජනනායක පවසන්නේ අදාළ වීඩියෝව තමන් විසින් සමාජ මාධ්‍යයට මුදාහරින ලද්දක් නොවන බවයි.
එමෙන්ම තම ප්‍රකාශය හේතුවෙන් කේ.කේ. සමන් කුමාර මහතාට යම් අගෞරවයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සමාව අයදින බවද තිස්ස ජනනායක සඳහන් කර තිබේ.