සේවය හැර දා වෙදැදුරන් රට පනිද්දී - අලුත් ඖෂධ හදා ලාභ ලබන කොළඹ සරසවිය. (PHOTO)
කොළඹ විශ්වවිද්‍යාලය සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අනාවරණය කළ සහ වැඩිදියුණු කරන ලද නිෂ්පාදන වාණිජ නිෂ්පාදන වෙළඳපොළට එක් කරමින් ආදායම් උත්පාදනයට සූදානම් වෙනවා.
ඒ සඳහා එම විශ්වවිද්‍යාලය තුළ විශ්ව විද්‍යාලය සහ වාණිජ නිෂ්පාදන ආයතන සම්බන්ධීකරණය වෙනුවෙන් වෙනම ඒකකයක් ද පිහිටුවා තිබෙනවා.
ඒ අනුව පසුගිය 27 වනදා කොළඹ විශ්ව විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සහ ආලේපන කිහිපයක් වෙනුවෙන් විශ්වවිද්‍යාලයට හිමි කර්තෘ භාගය පිරිනමනු ලැබුවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම සිය පර්යේෂණ ඇසුරින් සිදු කළ විද්‍යාත්මක අනාවරණයන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් වෙනුවෙන් මෙම මුදල හිමිව තිබෙනවා.
Vernolac – පිළිකා සෛල නැසීමේ හැකියාව පර්යේෂණාත්මකව තහවුරු කරන ලද පෝෂක ඖෂධය.
Satiny – අකලට හිස කෙස් වැටීම, ජානමය තත්වයන් නිසා තට්ටය ඇති වීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කිරීමේ අද්විතීය ගුණයෙන් හෙබි ඖෂධීය ශීර්ෂාලේපය.
Ortho Shield – බොහෝ දෙනෙකු මුහුණ දෙන සන්ධි ආශ්‍රිත වේදනාවන් සහ කැක්කුම් වහා සමනය කිරීමේ මනා හැකියාව විද්‍යාත්මක ව තහවුරු කරන ලද ශාකසාර අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ආලේපනය.
Bio Shape – ස්ථුල භාවය පාලනය කරමින්, අමතර මේදය බැහැර කරමින්, ආහාර පාලනයටත් ශරීරයේ හැඩය මනාව පවත්වා ගැනීමටත් ඉවහල් වන පෝෂක ඖෂධය
මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සමඟින් ගිවිසුම් ගතව ඇත්තේ දේශීය සමාගමක් වන වන ෆැඩ්නා සමාගම් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ෆැඩ්නා ලයිෆ් සයන්ස් සමාගමයි.
කොළඹ විශ්ව විද්‍යාලය නිෂ්පාදනය කළ මෙම නිෂ්පාදන අතර පිළිකා සෛල නසා දැමීමේ හැකියාවෙන් යුතු පෝෂක ඖෂධයක් පැවතීම ද විශේෂත්වයකි.
එමෙන්ම විශ්ව විද්‍යාලයට ලද අදායමෙන් කොටසක් තව දුරටත් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනය තුළ ස්ථාපිත පිළිකා පිළිබඳ පර්යේෂණ අරමුදල වෙනුවෙන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

