විශේෂ පිරිසකට පාතාළ තර්ජන...පොලිස් ආරක්ශාවත් සපයයි..

By Sithumi Jul 01, 2022 05:01 PM GMT
Sithumi

Sithumi

Report

මත්ද්‍රව්‍ය වැටලීම් සහ පාතාල මර්දනයට වර්තමානයේ සෘජුව මැදිහත්ව සිටින සහ විශ්‍රාම ලබා සිටින පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ඝාතනය කිරීමට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම්කර තිබෙන්නේ යැයි ලැබුණු බුද්ධි තොරතුරු මත එම නිලධාරීන්ට ආරක්‍ෂාව ලබාදී ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ජාවාරම්කරුවන්ට හිසරදයක් වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙසේ ඝාතනය කිරීමට සැළසුම් කර ඇති බව හෙළිවී තිබෙන බවත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් සහ පාතාල මර්දනයට වැඩිම දායකත්වයක් දැක්වූ මෑතකදී විශ්‍රාම ලැබූ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු වන මංජුල ද සිල්වා සහ ඊ. එස්. ධර්මප්‍රිය යන මහත්වරු ප්‍රධාන ඉලක්කයක් වී ඇතැයි පොලිස් බුද්ධි අංශ පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

බස්නාහිර පළාතේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, දැනට සේවයේ නිරත පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ද, මෙලෙස තර්ජන එල්ල වී ඇති බවත් තර්ජන එල්ල වී සිටින පොලිස් නිලධාරීන්ට පෞද්ගලිකව ආරක්ෂාකාරීව සහ කල්පනාකාරීව සිටින ලෙස උපදෙස් දී ඇති බව ද පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනයට සෘජුවම සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් තර්ජන එල්ල වී ඇති බවට වින්ධිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය සහ පොලිස් මූලස්ථානයට මීට පෙර වාර්තා කර තිබූණි. රට තුළ පසුගිය මාසයක පමණ කාලය තුළ සිදුවූ ඝාතන 20 න් වැඩි සංඛ්‍යාවකට චෝදනා එල්ල වී තිබෙන ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල සාමාජිකයන් දෙදෙනකුගෙන් මෙම තර්ජන එල්ල වී ඇති බවට බුද්ධි තොරතුරුවලින් වැඩි දුරටත් දැනගන්නට තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස් නිලධාරීන්ට තර්ජන හේතුවෙන් එසේ ආරක්‍ෂාව සපයා ඇති බවට තමන් දැනුවත් කර නොමැති බවය.