යුද්ධයේ අදුරු සෙවනැලි දැඩිවෙයි -යුක්රේන යුද බිමේ ඩ්‍රෝන කේබල්වලින් කූඩු හඩපු හැදූ කුරුල්ලන් ලොව මවිත කරයි
යුක්රේනයේ යුද ඉදිරි පෙළ ආසන්නයේ තිබී ෆයිබර්-ඔප්ටික් කේබල් සහ තණකොළ යොදා වියන ලද කුඩා කුරුළු කූඩු දෙකක් සොයාගෙන ඇති අතර, එය වසර හතරකට අධික කාලයක් පුරා පවතින යුද්ධය ස්වභාවික පරිසරයට සිදුකරන බලපෑම පිළිබඳ සුවිශේෂී සාක්ෂියක් ලෙස පර්යේෂකයෝ පෙන්වා දෙති.
යුක්රේනයේ කිලෝමීටර් 1,200ක පමණ ඉදිරි පෙළ පුරා, රුසියානු සහ යුක්රේන හමුදා ඉලෙක්ට්‍රොනික බාධා කිරීම් මඟහැර ඩ්‍රෝන යානා මෙහෙයවීම සඳහා භාවිත කරන ෆයිබර්-ඔප්ටික් කේබල් විශාල ප්‍රමාණයක් විසිරී තිබේ.
කිලෝමීටර් 20ක් පමණ දිගට විහිදිය හැකි මෙම කේබල් ගස්වල, කෙත්වල සහ ගොඩනැගිලිවල වහල මත පැතිරී ඇති බව සඳහන් වේ.
කියෙව්හි යුධ කෞතුකාගාරයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකවරිය වන යනා හ්‍රින්කෝ පවසන්නේ, කුරුල්ලන් ඉවත දමන ලද ෆයිබර්-ඔප්ටික් කේබල් තම කූඩු තැනීම සඳහා භාවිත කිරීමට පටන්ගෙන ඇති බවයි.
යුක්රේන හමුදා විසින් කෞතුකාගාරයට යවා තිබූ එවැනි කූඩු දෙකක් මේ වන විට පර්යේෂණයට ලක් කරමින් පවතී. “ෆයිබර්-ඔප්ටික් කැබලි අඩංගු කුරුළු කූඩු වැනි දේවල් යුද්ධයේ ස්වභාවය වෙනස් වී ඇති ආකාරය පැහැදිලිව පෙන්නුම් කරනවා,” යැයි හ්‍රින්කෝ සඳහන් කළාය.
2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, සාම්ප්‍රදායික යුධ උපකරණවල රුසියාවේ වාසියට ප්‍රතිචාර ලෙස යුක්රේනය ඩ්‍රෝන තාක්ෂණය දියුණු කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කර තිබේ.
අද වන විට ඩ්‍රෝන යානා යුධ මෙහෙයුම්වල ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. කෙසේ වෙතත්, මෙම කූඩු නිර්මාණය කළේ කුමන පක්ෂි විශේෂයද, එම කුරුල්ලන් දිගු ෆයිබර්-ඔප්ටික් කේබල් එකතු කළේ කෙසේද යන්නද මෙතෙක් අනාවරණය වී නොමැති බව පර්යේෂකයෝ පවසති.
ඩොනෙට්ස්ක්, කාර්කිව් සහ සපොරිෂියා යන ඉදිරි පෙළ ප්‍රදේශවල සේවය කරන යුක්රේන හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුද මෙවැනි කූඩු සොයාගෙන ඒවායේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැර තිබේ.
සොයාගත් කූඩු දෙකෙන් එකක් කියෙව්හි යුධ කෞතුකාගාරයේ ස්ථිර ප්‍රදර්ශනයක් ලෙස සංරක්ෂණය කරන අතර, අනෙක නෙදර්ලන්තයට යවා වැඩිදුර විද්‍යාත්මක අධ්‍යයනයකට ලක් කිරීමෙන් අනතුරුව යළි යුක්රේනයට ගෙන ඒමට නියමිතය.
නෙදර්ලන්තයේ ලයිඩන් නගරයේ පදිංචි, කෘත්‍රිම කූඩු ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ ජීව විද්‍යාඥ ඕක්-ෆ්ලෝරියන් හයිම්ස්ට්‍රා පවසන්නේ, යුක්රේනයේ පොහොසත් කුරුළු ජෛව විවිධත්වය හේතුවෙන් මෙම කූඩු නිර්මාණය කළ පක්ෂි විශේෂය හඳුනා ගැනීම සඳහා DNA සාක්ෂි පරීක්ෂා කරමින් සිටින බවයි.
“මේ ආකාරයේ කූඩුවක් මීට පෙර කිසිදා දැක නැහැ. කුරුළු කූඩු විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කර තිබුණත් මෙය සුවිශේෂී නිර්මාණයක්,” යැයි ඇය පැවසුවාය. ෆයිබර්-ඔප්ටික් කේබල් කුරුල්ලන්ට හිතකර මෙන්ම අහිතකර බලපෑම්ද ඇති කළ හැකි බව හයිම්ස්ට්‍රා පෙන්වා දෙයි. එම කේබල්වල පැටලී අනතුරු සිදුවිය හැකි වුවද, ශක්තිමත් කූඩු තැනීමට ඒවා උපකාරී විය හැකි බවද ඇය සඳහන් කළාය.
“මෙම කූඩු ලේඛනගත කිරීමෙන් අප ලේඛනගත කරන්නේ කුරුල්ලන්ගේ හැසිරීම පමණක් නොව, යුද්ධය සොබාදහමට ඇති කරන ගැඹුරු බලපෑමදයි,” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.