ලොවම මවිත කරමින් රතු මුහුදේ තීරණාත්මක මුහුදු මාර්ගයක බලය හූතින් අතට - සෞදි සහාය ලබන යේමන හමුදා පසුබසියි
රතු මුහුදේ පිහිටි ලෝක වෙළෙඳ හා නාවික ප්‍රවාහනයට අතිශය වැදගත් මුහුදු මාර්ගයක් වන බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආසන්න ප්‍රදේශයෙන් සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, එම ප්‍රදේශයේ පාලනය ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් අතට පත්ව ඇති බව වාර්තා වේ.
යේමන හමුදාව සඳහන් කර ඇත්තේ රතු මුහුදේ දකුණු කෙළවර පිහිටි මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය ආසන්නයේ සිටින සිය හමුදා, යේමනයේ අන්තර්කාලීන අගනුවර වන ඒඩන් නගරය ආරක්ෂා කිරීම සඳහා නැවත ස්ථානගත කරන බවයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී හූති සටන්කාමීන් හදිසි ප්‍රහාරයක් එල්ල කර මෙම ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව, එය යළි අත්පත් කර ගැනීම සඳහා සති කිහිපයක් පුරා සටන් පැවතිණි.

එම ප්‍රදේශයේ ගැටුම් හේතුවෙන් ලෝක තෙල් අපනයනයට ද බලපෑම් එල්ල වූ අතර, දහස් සංඛ්‍යාත පිරිසකට සිය නිවාස අතහැර පලා යාමට සිදුවිය. කෙසේ වෙතත්, ඉකුත් ඉරිදා හූති පාලනය යටතේ පවතින මාධ්‍ය වාර්තා කළේ අදාළ ප්‍රදේශයේ පාලනය ඔවුන් විසින් අත්පත් කරගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සෞදි අරාබිය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත. මීට පෙර ඔක්තෝබර් මස මුල් භාගයේදී සෞදි සහාය ලබන හමුදා මෙම සමුද්‍ර සන්ධිය තම පාලනයට නතු කරගත් බව ප්‍රකාශ කර තිබුණි.
එහෙත් ඉරිදා ඔවුන් සඳහන් කර ඇත්තේ වෙනත් ප්‍රදේශවල හමුදා ශක්තිමත් කිරීම සහ පවතින තර්ජනවලට මුහුණදීම සඳහා හමුදා ඉවත් කරගැනීමට තීරණය කළ බවයි.
රොයිටර් පුවත් සේවය වාර්තා කළ පරිදි, දකුණු යේමන සන්නද්ධ හමුදා ප්‍රකාශයක සඳහන් කර ඇත්තේ ධුබාබ් ගුවන්තොටුපළ සහ බාබ් අල්-මන්දෙබ් ප්‍රදේශයෙන් හමුදා ඉවත් කරගන්නා බවයි.
පූනේ සිට ගුවහාටි බලා ගිය 6E 0623 යානයට අහසේදී සිදුවූ හදිසි අකරතැබ්බය-මගීන් 192කගේ ජීවිත බේරුණු ත්‍රාසජනක මෙහෙයුම මෙන්න
ලෝක තෙල් වෙළෙඳපොළටත් බලපෑම්
බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය අත්පත් කර ගැනීමත් සමඟ ලෝක තෙල් වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යාමට ද බලපෑම් එල්ල වී තිබේ.
ඒ, ඉරානය සමඟ ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ සෞදි අරාබිය සිය තෙල් අපනයනය සඳහා රතු මුහුදේ මාර්ගය මත වැඩි වශයෙන් රඳා පැවතීම හේතුවෙනි.
මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබිය ගුවන් ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇති අතර, හූති සටන්කාමීන් ද සෞදි නගර සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර සිය ගණනක් එල්ල කර තිබේ.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර නාවික ගමනාගමනයට තර්ජනයක් නොවන බව හූති සටන්කාමීන් ප්‍රකාශ කර තිබුණ ද, සෞදි අරාබියට අයත් නෞකා ඉලක්ක කරගනිමින් ප්‍රහාර අඛණ්ඩව සිදුකරන බව ඔවුන් පවසා ඇත.
මේ අතර, යේමනයේ උත්සන්න වී ඇති ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 330,000කට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබේ. ගැටුම්වලින් සිය ගණනක් මියගොස් ඇති බව ද වාර්තා වේ.
යේමනයේ සිවිල් යුද්ධය ආරම්භ වූයේ 2014 වසරේදී හූති සටන්කාමීන් එරට අගනුවර වන සනා නගරයේ බලය අත්පත් කර ගැනීමත් සමඟය.
ඉන් අනතුරුව, 2015 වසරේදී යේමන රජයේ පාලනය යළි ස්ථාපිත කිරීමේ අරමුණින් සෞදි අරාබිය ප්රමුඛ අරාබි රටවල් සන්ධානයක් යුද්ධයට මැදිහත් වීමත් සමඟ ගැටුම් තවදුරටත් උත්සන්න විය.