මෙවැනි බැංකුවලට සම්බාධක පැනවීමේ සූදානමක්? ට්‍රම්ප්ගෙන් මේ බැංකු වලට රතු එළියක්
ඉරානය ආර්ථික වශයෙන් තනි කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන යන වැඩපිළිවෙල තවදුරටත් දැඩි කරමින්, ඉරානය සමග මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යනු ලබන චීන බැංකු ඉලක්ක කරගනිමින් පැනවීමට නියමිත සම්බාධක පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර ඇත.
ඕවල් කාර්යාලයේ පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, “මම එහෙම කරන්නේ නැහැ කියලා කවුද කිව්වේ? මම ගන්නා සෑම තීරණයක්ම කලින්ම ප්‍රකාශයට පත් කිරීමට මට අවශ්‍යතාවයක් නැහැ” ලෙසයි.
ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පසුගියදා ප්‍රකාශ කර සිටියේ, දැඩි ආර්ථික සම්බාධක මගින් ඉරාන රජය මූල්‍යමය වශයෙන් අඩපණ කිරීමට ඇමෙරිකාව පියවර ගන්නා බවයි.
එහි එක් පියවරක් ලෙස ඉරානය සමග වෙළඳ සබඳතා පවත්වන අනෙකුත් රටවලට පවා ද්විතීයික සම්බාධක පැනවීමේ අවදානම ඉහළ නංවා ඇත.
විශේෂයෙන්ම ඉරාන තෙල් සඳහා ප්‍රධානතම වෙළඳපොළක් වන චීනය, එරට විශාලතම වෙළඳ සහකරුවා වන අතර, චීන බැංකු විසින් මෙම තෙල් ගනුදෙනු සහ අනෙකුත් වෙළඳ ගෙවීම් අඛණ්ඩව කළමනාකරණය කරනු ලබයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ඉරාන හමුදාවට සහ රජයට සහාය දැක්වූයේ යැයි චෝදනා කරමින් චීනයේ සහ හොංකොංහි සමාගම් කිහිපයකට මීට පෙර සම්බාධක පනවා තිබුණද, චීනයේ ප්‍රධාන පෙළේ බැංකුවලට එරෙහිව මෙතෙක් එවැනි පියවරක් ගෙන නොමැති බවයි.