කර්මාන්ත සඳහා ඉඩම් ගැන අලුත් තීරණයක් - 2030 ඉලක්කය ඇමති හඳුන්නෙත්ති හෙළි කරයි
ශ්රී ලංකාවේ කාර්මික සංවර්ධනය සඳහා වෙන් කර ඇති ඉඩම් ප්රමාණය දැනට පවතින 0.03% සිට 2030 වසර වන විට අවම වශයෙන් 1% දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලට එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කර තිබේ. කාර්මික සංවර්ධනයේදී පවතින ප්රධාන අභියෝගයක් ලෙස ඉඩම් හිඟය පෙන්වා දුන් ඔහු, කර්මාන්ත දියුණු කිරීමේදී පරිසර සංරක්ෂණය ද සමබරව පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
කර්මාන්ත ව්යාප්ත කිරීමට සහ වඩාත් යහපත් පාරිසරික ක්රමවේද අනුගමනය කිරීමට අවශ්ය ප්රමාණවත් ඉඩම් ලබාගැනීමේදී බොහෝ කර්මාන්තකරුවන් දුෂ්කරතාවලට මුහුණ දෙන බව ද අමාත්යවරයා සඳහන් කළේය.
එමෙන්ම නීත්යනුකූලව ක්රියාත්මක වන කර්මාන්ත සඳහා අවශ්ය වැලි, ගල්, බොරළු සහ මැටි වැනි අමුද්රව්ය සපයා ගැනීමේදී ද ගැටලු පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
පාරිසරික නීති හා රෙගුලාසිවලට අනුකූලව මෙම ගැටලු විසඳා ගැනීමේ අවශ්යතාව ද අමාත්යවරයා අවධාරණය කළේය.
ජාත්යන්තර වෙළෙඳපොළ තුළ පාරිසරික ප්රමිතීන්, හරිතාගාර වායු විමෝචනය සහ කාබන් පියසටහන පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරෙන බැවින් පරිසර ආරක්ෂාව ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට ද වඩ වඩාත් වැදගත් වී ඇති බව ඔහු පැවසීය.
පරිසර සංරක්ෂණය සඳහා දායකත්වය දැක්වූ පුද්ගලයන් සහ ආයතන ඇගයීමට ලක් කළ අමාත්යවරයා, කර්මාන්ත සහ ප්රජාව තුළ තිරසාර ක්රමවේද තවදුරටත් ප්රවර්ධනය කරන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
මධ්යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී පරිසර ආරක්ෂාව සහ තිරසාරභාවය වෙනුවෙන් දායක වූ පුද්ගලයන් හා ආයතන ඇගයීමට ලක් කෙරේ.