ට්‍රැවලින් බෑගයෙන් හමුවූ කාන්තා සිරුර හදුනා ගැනේ..
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ කැලිකසළ ගොඩගසන ස්ථානයක ගමන් මල්ලක දමා තිබිය දී හමු වූ මළ සිරුර වයස අවුරුදු 42ක කාන්තාවකගේ බව මෙතෙක් කරන ලද විමර්ශනවල දී හෙළි වී තිබෙනවා.
ඊට අමතර ව මරණයට පත් වූ කාන්තාව කොළඹ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකාරිනියක් බවටත් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
කෙසේ වෙතත් මීට පෙර පොලිසිය පැවසුවේ, කාන්තාවක් අතුරුදන්ව සිටී නම් ඥාතීන්ට සපුගස්කන්ද පොලිසිය සම්බන්ධ කරගෙන රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මළ සිරුර හඳුනා ගැනීමට හැකියාව පවතින බවයි.
අත් පා ගැට ගසා ගමන් බෑගයට දමා තිබූ මෙම මළ සිරුර ප්ලාස්ටික් පැදුරකින් ඔතා තිබූ අතර, මියගිය කාන්තාව වයස අවුරුදු 30ත් 40 ත් අතර වයසේ පසුවන්නියක් බවට මීට පෙර පොලිසිය සැකපළ කළා.
කෙසේ වෙතත්, මළ සිරුර හමු වූ කසල ගොඩ ආසන්නයේ සී.සී.ටී.වී. නොමැති බැවින් වෙනත් ක්‍රම ඔස්සේ එය අදාළ ස්ථානයට රැගෙන ආ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 03ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි සපුගස්කන්ද පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
මළ සිරුර සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත ව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
