දිවයින පුරා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මකයි

covid19 isolated Ajith Rohana quarantine travel restriction
By Sewvandhi May 22, 2021 03:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවයිනම ආවරණය වන පරිදි පනවා ඇති දැඩි සංචරණ සීමා මේ වනවිට ක්‍රියාත්මකයි. ඊයේ (21) රාත්‍රී 11 ට ආරම්භ කළ එම සංචරණ සීමා ලබන අඟහරුවාදා අලුයම 4ට තාවකාලිකව ඉවත් කෙරෙනු ඇති.

අනතුරුව, එදිනම රාත්‍රී 11ට නැවතත් දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙනවා. එය ඉවත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 28 වන සිකුරාදා අලුයම හතරටයි.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලසීමාවේදී නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරින් 22,000 ක් යොදවා තිබෙනවා. සංචරණ සීමා පනවා තිබුණ ද අත්‍යාවශ්‍ය සේවා, ඩිලිවරි, ඉදිකිරීම් කටයුතු හා කෘෂිකර්මාන්ත කටයුතු සඳහා සීමා පනවා නැහැ.

මේ අතර, දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති මෙම කාලයේදී අත්‍යාවශ්‍ය සේවා රථවල රියදුරන් වුවත්, මාර්ග නීතිවලට අනුගතව ක්‍රියාකළ යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කළා.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ලබන 24 සහ 25 යන දෙදින දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බවයි. එසේම, ලබන 27 සහ 28 යන දෙදින ද ගොවීන්ගේ නිෂ්පාදන බෙදා හැරීමේ ක්‍රියාවලිය සඳහා ආර්ථික මධ්‍යස්ථාන 07 ක් විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව, දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොල, වේයන්ගොඩ, මීගොඩ හා ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස විවෘතව තැබෙනවා.

සංචරණ සීමා පනවනු ලැබුව ද, ධීවර කටයුතුවලට සහ මත්ස්‍ය තොග වෙළඳාමට අවහිරතාවක් නොමැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මේ අතර, සංචරණ සීමා පැනවෙන කාලසීමාව තුල ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් නොවන පරිදි අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ බලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි. මෙම සාකච්ඡාවේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේ ලබන ජුනි මාසය අග වනවිට මෙරට සැලකිය යුතු පිරිසක් එන්නත්කරණයට ලක්කළහොත් එම කාලසීමාව වනවිට වෛරස් ව්‍යාප්තිය අවම කර ගත හැකි බවයි.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now