ලංකාව ලෝකෙටම හොඳ නිදසුනක්.. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපති රටටම දුන්න සුබ ආරංචිය
තදබල ආර්ථික හා ගෙවුම් ශේෂ අර්බුදයකින් අනතුරුව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින්, අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයට පැමිණ ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද රාජ්‍ය තාන්ත්‍රික හමුවකට එක්වෙමින්.
එමෙන්ම මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ කෙටි කාලයක් තුළ මෙවැනි වේගවත් ආර්ථික පිබිදීමක් ලබාගැනීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.
මෙරට ණය ශ්‍රේණිගත කිරීම් (Sovereign Credit Rating) තවදුරටත් ඉහළ නැංවීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන සමඟම මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවද සඳහන් කළ නන්දලාල් වීරසිංහ මහතා උද්ධමනය පාලනය කිරීම, විදේශ විනිමය සංචිත නැවත ගොඩනැගීම සහ රාජ්‍ය ණය ප්‍රතිසංස්කරණය කිරීම මඟින් මැක්‍රෝ ආර්ථික ස්ථාවරත්වය තහවුරු වී ඇති බව අවධාරණය කර ඇත.
තවද පසුකාලීනව දියත් කළ ආර්ථිකය ස්ථාවර කිරිමේ වැඩසටහන් ඔස්සේ විදේශ සංචිත යළි ගොඩනැගීමට හැකියාව ලැබී ඇති අතර ඊට අමතරව, උද්ධමනය පාලනය කිරීමටත් මූල්‍ය ශේෂයන් යථා තත්ත්වයට පත් කර ගැනීමටත් හැකියාව ලැබුණු බව මහ බැංකු අධිපතිවරයා පැවසූ බව සඳහන්.
එසේම තදබල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණදී ඉතා වේගයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්කරගත් රටක් වශයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට හොඳ නිදසුනක් බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.