විදේශ රැකියා ජාවාරමකින් කෝටියක් මුදල් වංචා කළ කතුන් දෙදෙනක් ඇතුළු පිරිසක් මාට්ටු
ඇල්බේනියාව, කැනඩාව සහ ජපානය යන රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ බව කියන කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහරගම ප්‍රදේශයේ ශිෂ්‍ය වීසා ලබාදෙන ආයතනයක් පවත්වාගෙන යමින්, ඒ මුවාවෙන් ඇල්බේනියාවේ සහ කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් මුලින්ම අත්අඩංගුවට ගත් බව කාර්යාංශය පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය මෙම ආයතනය වටලා රැකියා ගිවිසුම් ඇතුළු ලේඛන රැසක් ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මේ අතර, මීරිගම ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් පවත්වාගෙන යමින් ජපානයේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකරන බවට ලද පැමිණිලි 3ක් මත සිදුකළ තවත් වැටලීමකදී අනෙක් සැකකරුවන් දෙදෙනා කොටු කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.
එහිදී කාර්යාංශ නිලධාරියෙකු උපාය දූතයෙකු ලෙස යොදවා මෙම වැටලීම සිදුකර තිබේ. මීරිගම වැටලීමේදී මිනුවන්ගොඩ පදිංචි කාන්තාවක් සහ ජාඇල පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පළමු සැකකාරිය ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, දෙවන සැකකරු ඇප මත මුදා හැරීමටත් අධිකරණය නියෝග කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.