ගොඩනැගිල්ලක් කඩා වැටී කටාර් හි සිදුවූ බිහිසුණු අනතුරින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට - දර්ශන සහිතයි..(VIDEO)

Qatar
By Sewvandhi Mar 24, 2023 11:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 ඊයේ (23) උදෑසන කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් එක් ශ්‍රි ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර, තවත් ශ්‍රි ලාංකිකයෙකු අතුරුදන්වී තිබේ. මෙලෙස මියගොස් ඇති පුද්ගලයා 56 හැවිරිදි නිශ්ශංක සිල්වා නම් අයෙකු වන අතර, ඔහුගේ පුත්‍රයා විසින් සිරුර හඳුනාගෙන තිබේ. 

  අබ්දුල් රසාක් ජමීල් නම් 60 හැවිරිදි පුද්ගලයෙකුද මෙම අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටින බව, කටාර්හි සේවය කරන ඔහුගේ පුත්‍රයා විසින් තානාපති කාර්යාල නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා. මෙම පුද්ගලයින් කටාර්හි සේවයට ගොස් එම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි බව සඳහන් ය.

මෙම අනතුර පිළිබඳව වැඩිදුර කරුණු සොයාබැලීම සදහා කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් මේ වන විටත් එම ප්‍රදේශයට පිටව ගොස් සිටී. කඩාවැටුනූ ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් පවුල් දොලහකට අයත් සාමාජිකයින් බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්වී තිබෙන අතර, තුවාලකරුවන් නව දෙනෙකු මේ වනවිට කටාර් හි හමාද් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

කටාර් රාජ්‍යයේ විදේශ ශ්‍රමිකයින් වැඩි පිරිසක් සේවය කරන අතර, 2023 වසරේදී ශ්‍රි ලාංකිකයින් 13,042 කු කටාර්හි රැකියාව සඳහා පිටව ගොස් ඇත. ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වන විට කටාර්හි රැකියා කරති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now