ඉන්දියාවේ කවාඩියා කන්දේදී සිදු වූ ශෝකජනක සිදුවී- ජංගම දුරකථන ආරවුලකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ චත්‍රපති සම්භාජිනගර් දිස්ත්‍රික්කයේ කන්දකින් වැටීමෙන් 18 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ දෙමාපියන් දෙදෙනාම මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය වලුජ් MIDC පොලිස් ස්ථාන බල ප්‍රදේශයට අයත් ටිස්ගාඕන් ප්‍රදේශයේ කවාඩියා කන්දේදී සිදුව තිබේ.
මියගිය පුද්ගලයන් ලෙස සල්ටා ෆාටා ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි කුනාල් චන්ද්ගුඩේ, ඔහුගේ 48 හැවිරිදි පියා වන මුරලිධාර් චන්ද්ගුඩේ සහ මව සංගීතා චන්ද්ගුඩේ හඳුනාගෙන තිබේ.
වාර්තා අනුව, කුනාල් මිල අධික iPhone දුරකථනයක් මාසික වාරික ක්‍රමයට මිලදීගෙන ඇති අතර, එහි වාරික ගෙවීම් තනිවම සිදුකිරීමට ඔහුට අපහසු වී තිබේ.
නවතම වාරිකය ගෙවීම සඳහා මුදල් ඉල්ලා ඔහු තම රියැදුරෙකු ලෙස සේවය කළ පියා සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන ඇති අතර, දෙමාපියන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ.
ඉන් අනතුරුව කුනාල් කන්දට ගොස් තිබූ අතර, ඔහුගේ දෙමාපියන් ද ඔහු පසුපස ගොස් ආපසු නිවසට පැමිණෙන ලෙස ඒත්තු ගැන්වීමට උත්සාහ කර තිබේ. සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු ප්‍රදේශවාසීන්, පොලිසිය සහ ගිනි නිවන භටයන් එක්ව තරුණයා ආරක්ෂිතව බේරා ගැනීමට උත්සාහ කර ඇත. ගිනි නිවන භටයන් කඳු බෑවුමට පහළින් ආරක්ෂිත දැලක් යෙදීමටද උත්සාහ කර තිබේ.
කෙසේ වෙතත්, කුනාල් කඳු බෑවුමේ විවිධ ස්ථානවලට ගමන් කිරීම හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායමට ඔහු වෙත ආරක්ෂිතව ළඟාවීම අපහසු වී ඇත. දහවල් 1ට පමණ ඔහුගේ පියා මුරලිධාර් පුතා වෙත ළඟා වී ඔහුව සන්සුන් කර නැවත නිවසට පැමිණෙන ලෙස ඉල්ලා තිබේ.
එහිදී කුනාල් කඳු බෑවුමේ මායිමෙන් පහළට ගමන් කළ අවස්ථාවේදී, ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ මුරලිධාර් ද සමබරතාවය ගිලිහී බෑවුමෙන් පහළට වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි. තම සැමියා සහ පුතා කන්දෙන් වැටෙන ආකාරය දුටු සංගීතාද පසුව කඳු බෑවුමේ මායිමෙන් පහළට ගොස් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
පසුව පොලිසිය සහ ගිනි නිවන භටයන් විසින් තිදෙනාගේම මළ සිරුරු සොයාගෙන ඇති අතර, අවශ්‍ය නීතිමය කටයුතු සිදුකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.