ස්වීඩන් පාසලකට කඩුවෙන් එල්ල වූ මාරාන්තික ප්‍රහාරයක්- එක් අයෙකු මියගොස් තිදෙනෙකුට බරපතළ තුවාල

Report

ස්වීඩනයේ මධ්‍යම ප්‍රදේශයේ ෆැගර්ස්ටා නගරයේ බ්‍රිනෙල් උසස් පාසලේ සිසුන් පිරිසකට කඩුවකින් සන්නද්ධ 18 හැවිරිදි තරුණයෙකු සිදුකළ ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම පාසලේ හිටපු ශිෂ්‍යයෙකු බව මාධ්‍ය වාර්තා කර ඇත. සිද්ධිය සිකුරාදා දහවල් ෆැගර්ස්ටා නගරයේ පිහිටි බ්‍රිනෙල් උසස් පාසලේදී සිදුව තිබේ.

ගිම්හාන නිවාඩුවෙන් පසු පාසල යළි විවෘත කර තිබූ අතර, ඇතැම් සිසුන් සඳහා එය නව පාසල් වාරයේ පළමු දිනය විය. පොලිසිය පැවසුවේ 18 හැවිරිදි සැකකරුට නිලධාරීන් වෙඩි තබා මිනීමැරුම් චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි.

ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී ටොමී ඇල්රික්සන් සඳහන් කළේ සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම පොලිස් නිලධාරීන් පාසල වෙත යොමු කළ බවයි. පාසලේ වයස අවුරුදු 16ත් 20ත් අතර සිසුන් 450කට ආසන්න පිරිසක් සිටින බවද ඔහු පැවසීය.

පළමු පොලිස් කණ්ඩායම පාසලට ඇතුළු වූ අවස්ථාවේදී සැකකරුට වෙඩි තබා ඔහුව යටත් කරගත් බව පොලිස් ප්‍රධානියා සඳහන් කළේය. ස්වීඩන මහජන විකාශන ආයතනයක් වන SVT, නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කළේ සැකකරු හිස්වැස්මක් පැළඳ කඩුවක් රැගෙන පාසල තුළට පැමිණ ඇති බවයි.

ඔහු එම පාසලේ හිටපු ශිෂ්‍යයෙකු බවත්, මීට පෙර පහරදීමක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති බවත් වාර්තාවල සඳහන් විය.

ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ තුවාල ලැබූවන් අතර නව යොවුන් වියේ පිරිමි ළමුන් දෙදෙනෙකු සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බවයි. තවත් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

සිසුන් අතර භීතියක් ප්‍රහාරයෙන් පසු පාසල පැය පහකට ආසන්න කාලයක් ආරක්ෂක අගුලු දැමීමකට ලක් කර තිබිණි. සිද්ධිය ඇසින් දුටු සිසුවියක වන නෙලී පැවසුවේ මුලදී දිනය සාමාන්‍ය ලෙස ගතවූ නමුත් පසුව ලේ වලින් වැසුණු සිසුවෙකු දැකීමත් සමඟ තත්ත්වය වෙනස් වූ බවයි.

තවත් සිසුවෙකු වන අබ්දුල්රහෙම් සල්මෝ පැවසුවේ අතේ පිහි ඇනුම් තුවාලයක් සහිත පුද්ගලයෙකු දුටු බවත්, අනතුරුව සිසුන් සියලුදෙනාම බියෙන් එම ස්ථානයෙන් ඉවත් වූ බවත්ය. සිද්ධියෙන් අනතුරුව ෆැගර්ස්ටා නගරයේ තවත් පාසල් කිහිපයක් සහ පොදු ගොඩනැගිලි කිහිපයක්ද ආරක්ෂාව සඳහා තාවකාලිකව වසා දමා තිබිණි.

නගරාධිපති අසා-මාර්ටා ස්ජොස්ට්‍රෝම් පැවසුවේ මෙම සිදුවීම හේතුවෙන් කුඩා නගරය දැඩි කම්පනයකට පත්ව ඇති බවයි. සිසුන් සහ පාසල් සේවකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීම මේ මොහොතේ ප්‍රධාන අවධානය බවද ඇය සඳහන් කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් ස්වීඩන අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන් සිය කනගාටුව පළ කර ඇති අතර, සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ කතාවක්ද අවලංගු කළ බව වාර්තා විය. ස්වීඩනයේ රජු වන කාල් XVI ගුස්ටාෆ්ද ප්‍රහාරය පිළිබඳ පුවත තමන්ට ලැබුණේ දැඩි කනගාටුවෙන් සහ ශෝකයෙන් බව ප්‍රකාශ කර තිබේ.

ප්‍රහාරයට පෙර සමාජ මාධ්‍ය පළ කිරීමක් සිද්ධියට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ දෑ සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශනය කරමින් සිටී.

Aftonbladet පුවත්පතට අනුව, ප්‍රහාරයට මිනිත්තු 20කට පමණ පෙර TikTok ගිණුමක කඩුවක ඡායාරූපයක් පළ කර තිබී ඇත

Dagens Nyheter පුවත්පත වාර්තා කළේ ඡායාරූපයේ පසුබිම අනුව එය පාසලේ වැසිකිළියකදී ගත් ඡායාරූපයක් බවට පෙනී ගිය බවයි. එම ගිණුම ප්‍රහාරයෙන් පසු ඉවත් කර ඇති අතර, එහි නෝර්වේහි අන්ත දක්ෂිණාංශික සමූහ ඝාතකයෙකු වන Anders Behring Breivik සම්බන්ධ වීඩියෝද ඇතුළත් වූ බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය සිදුවන්නේ ස්වීඩනයේ පාසල් ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් රට තුළ දැඩි අවධානයක් පවතින අවස්ථාවකය. 2025 පෙබරවාරි මාසයේදී Orebro නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගිය අතර, 2015දී ට්‍රොල්හැටන් නගරයේ පාසලක කඩුවකින් සිදුකළ ප්‍රහාරයකින් ගුරු සහායකයෙකු සහ සිසුන් දෙදෙනෙකු මිය ගොස් තිබිණි.