“අධිකරණය සමඟ සෙල්ලම් නොකළ යුතුයි” - නීතිඥ සාලිය පීරිස්ගෙන් දැඩි ප්‍රකාශයක්
වර්තමාන රජයට යම් දිනක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මෙතරම් විරෝධයක් එල්ල වන්නේ ඇයිද යන්න අවබෝධ වනු ඇතැයි පෙන්වා දුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, “අධිකරණය සමඟ සෙල්ලම් නොකළ යුතුයි” යනුවෙන් අවධාරණය කළේය.
කොළඹදී ‘Save Our Sovereignty (SOS)’ නමැති ස්වාධීන ව්‍යාපාරයක් විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී සාලිය පීරිස් මහතා මෙම අදහස් පළ කළේය. සිය අදහස පැහැදිලි කිරීම සඳහා ඔහු සැබෑ සිදුවීමක් උදාහරණයක් ලෙස ඉදිරිපත් කළේය.
“හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට එරෙහිව විමර්ශන පැවැත්වෙමින් තිබුණා. එම අවස්ථාවේදී ඇය ප්‍රකට නීතිඥවරයකුට පවසා තිබුණේ, තමන් විසින්ම වරක් පත් කරන ලද විනිසුරුවරුන් තමන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන බවයි.
එවිට එම නීතිඥවරයා ඇයට පිළිතුරු දෙමින්, ‘ඒකයි මැඩම්, අධිකරණය සමඟ සෙල්ලම් නොකළ යුත්තේ’ යනුවෙන් පවසා තිබුණා,” යැයි ඔහු සඳහන් කළේය. එමෙන්ම, නීති ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනකු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බවද ඔහු කියා සිටියේය.
“මෙම සංශෝධනය පිළිගනිමින් මාධ්‍ය හමු පවත්වන ඇතැම් නීතිඥවරුන් පවා අප සමඟ පවසා තිබෙනවා, පෞද්ගලිකව ඔවුන් එයට විරුද්ධ බව. නමුත් ප්‍රසිද්ධියේ ඔවුන් එය පිළිගන්නවා. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නිහඬව විරුද්ධ වන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිටිනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.